ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබා ගෙන අවසන්ව ඇති බව මේ වන විටත් ඔබ දන්නවා.
කෙසේ වෙතත්, අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම කුමක්දැයි මෙතෙක් අවසන් වශයෙන් තීරණය වී නැහැ.
ඒ සදහා ඔස්ට්‍රේලියාවට වැඩි අවස්ථාවක් උදා වී ඇති බවක් දක්නට ලැබෙන නමුත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ද ඒ වෙනුවෙන් තවදුරටත් තරග වදිමින් සිටිනවා.
ශ්‍රී ලංකාවට final යන්න ඇත්තටම පුලුවන්ද?
අවසන් තරගයට පිවිසීමටනම් ශ්‍රී ලංකාවට මේ වන විට ඉතිරිව ඇත්තේ එක් මාර්ගයක් පමණයි. ඒ සදහා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර සිඩ්නිහීදී පැවැත්වීමට නියමිත අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වීම අනිවාර්යෙන්ම සිදු විය යුතුයි.
ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තවත් තරග 2ක් පමණක් (ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරටදී) ඉතිරිව ඇති අතර, එම තරග දෙකම ජය ගතහොත් ශ්‍රී ලංකාවට හිමි වන ලකුණු ප්‍රතිශතය 53.85% ක්.
සිඩ්නිහීදී පැවැත්වීමට නියමිත ඉන්දු-ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ජයග්‍රහනය කළහොත්, ඔවුන්ට 55.26% ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් රැදී සිටිමින් මෙවර ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් කිරීමේ අවස්ථාවය උදා වනවා. ඔස්ට්‍රේලියාව එම තරගය ජය ගෙන ශ්‍රී ලංකාවේදී ඔවුන් ටෙස්ට් තරග දෙකම පරාජයට පත්වුවද, ඔස්ට්‍රේලියාවට 57.02% ක ලකුණු ප්‍රතිශතයක් හිමිවනවා. ඒ අනුව සිඩ්නි ටෙස්ට් තරගය කුමන කණ්ඩායමක් ජයග්‍රහනය කළ ද ශ්‍රී ලංකාවට අවසන් තරගයේ බලාපොරොත්තු අත්හැරීමට සිදු වනවා.
ඒ හේතුවෙන් එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම ශ්‍රී ලංකාවට අනිවාර්යය වන අතර, අනතුරුව අවසන් ටෙස්ට් තරග දෙකම ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වනවා.
සිඩ්නි තරගය ජය පරාජයෙන් තොරව අවසන්ව ඔස්ට්‍රේලියාව මෙරටදී තරග දෙකම පරාජයට පත්වුවහොත් ඔස්ට්‍රේලියාවට හිමිවන්නේ 53.51% ක ලකුණු ප්‍රතිශතයක් පමණයි. එය ශ්‍රී ලංකාවේ ලකුණු ප්‍රතිශතය වන 53.85% ට වඩා පහළ අගයක් ගනු ලබනවා.
ඔස්ට්‍රේලියාව final යන්නේ කොහොමද?
සිඩ්නි ටෙස්ට් තරගය ඔස්ට්‍රේලියාව ජයගතහොත්, ශ්‍රී ලංකාවේ දී ඔවුන් තරග දෙකම පරාජයට පත් වුවද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාවට අවස්ථාව උදා වනවා. ඒ, එවැනි අවස්ථාවක ඔස්ට්‍රේලියාවට 57.02% ක ලකුණු ප්‍රතිශතයක් ද, ශ්‍රී ලංකාවට 53.85% ක ලකුණු ප්‍රතිශතයක් ද, ඉන්දියාවට 50% ක ලකුණු ප්‍රතිශතයක් ද හිමි වන බැවින්.
ඔස්ට්‍රේලියාව සිඩ්නි ටෙස්ට් තරගය පරාජයට පත්වුවහොත්, ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවේදී එක් තරගයක් ජය ගැනීම ප්‍රමාණවත් වනවා. සිඩ්නි තරගය පරාජයට පත්ව ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම මට්ටමෙන් අවසන් වුවහොත්, ඔස්ට්‍රේලියාවට 57.02% ක ලකුණු ප්‍රතිශයක් ද, ඉන්දියාවට 55.2% ලකුණු ප්‍රතිශතයක් ද, ශ්‍රී ලංකාවට 46.15% ක ලකුණු ප්‍රතිශතයක් ද හිමි වනවා.
ඔස්ට්‍රේලියාව සිඩ්නි තරගය පරාජයට පත්ව ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ටෙස්ට් තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් කරගතහොත්, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව ලබා ගෙන ඇති ලකුණු ප්‍රතිශතය 55.26% ක් ලෙස සම මට්ටමට පත්වනවා. කෙසේ වෙතත්, එවැනි අවස්ථාවක වැඩි තරගාවලි සංඛ්‍යාවක් මෙවර ටෙස්ට් ශූරතාවලියේදී ඉන්දියාව ජය ගෙන ඇති බැවින් ඉන්දීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා.
ඉන්දියාවට මොකද වෙන්නේ?
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම පිළිබද බලාපොරොත්තු තබා ගැනීමටනම් සිඩ්නි ටෙස්ට් තරගයෙන් ජය ගැනීම ඉන්දියාවට අනිවාර්යය වනවා. එහිදී ඉන්දියාවේ ලකුණු ප්‍රතිශතය 55.26% ක් දක්වා ඉහළ යන බැවින් එම සීමාවට ළගා වීමට ශ්‍රී ලංකාවට කිසිසේත් හැකි වන්නේ නැහැ.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේදී එක් තරගයක් හෝ ජයගතහොත් ඔස්ට්‍රේලියාව අවසන් තරගයට සුදුසුකම් ලබන බැවින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග දෙකම පරාජයට පත් වීම හෝ තරග දෙකම ජය පරාජයෙන් තොරව අවසන් වීම සිදු විය යුතු වනවා.
එසේ නොමැතිනම් ඔස්ට්‍රේලියාව අවම වශයෙන් තරග 0-1 ක් ලෙස හෝ ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් විය යුතුයි. එවැනි අවස්ථාවක ඔස්ට්‍රේලියාවට 53.51% ක ලකුණු ප්‍රතිශතයක් ද, ශ්‍රී ලංකාවට 48.72 % ක ලකුණු ප්‍රතිශතයක් ද හිමි වනු ඇති. එය ඉන්දියාවට අවසන් තරගයට පිවිසීමට ප්‍රමාණවත් වනවා.
කෙසේ වෙතත්, සිඩ්නි ටෙස්ට් තරගයෙන් ඉන්දියාව පරාජයට පත්වුවහොත් හෝ ජය පරාජයෙන් තොරව එම තරගය අවසන් වුවහොත් ඉන්දියාවට අවසන් මහා තරගයේ බලපොරොත්තු සම්පූර්ණයෙන්ම අත්හැරීමට සිදු වනවා.
සිඩ්නි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවහොත් ඉන්දියාවට හිමිවන්නේ 51.75 % ක ලකුණු ප්‍රතිශතයක් පමණයි. එම තරගය ජය පරාජයෙන් තොරව අවසන්ව ශ්‍රී ලංකාවේ දී තරග දෙකම ඔස්ට්‍රේලියාව පරාජයට පත් වුවද ඔස්ට්‍රේලියාවට 53.51% ක ලකුණු ප්‍රතිශතයක් හිමි වන අතර, ශ්‍රී ලංකාවට 53.85% ක ලකුණු ප්‍රතිශතයක් හිමිවනවා. එවන් අවස්ථාවක අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවයි.