WIPL : ක්‍රීඩිකාවන් මිලදී ගන්න කෝටි 12 ක් ; ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩිකාවන් ගණන මෙන්න

පළමු වරට මෙම වසරේ දී පැවැත්වීමට නියමිත කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සදහා ක්‍රීඩිකාවන් මිලදී ගැනීම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 12 ක මූල්‍ය සීමාවක් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පනවා තිබෙනවා.

මෙම සීමාව වසරෙන් වසර ඉන්දීය රුපියල් කෝටි 1.5 කින් ඉහළ නැංවීමට පළමු වසර පහ තුළ දී කටයුතු කිරීමට නියමිතයි.

ඒ අනුව 2024 වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 13.5 ක් දක්වා ද, 2025 වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 15 ක් දක්වා ද, 2026 වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 16.5 ක් දක්වා ද, 2027 වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 18 ක් දක්වා ද මූල්‍ය සීමාව ඉහළ නැංවෙනවා.

පළමු වසර 3 තුළ දී  කණ්ඩායම් 5 ක් ද, අනතුරුව කණ්ඩායම් 6 ක් ද තරගාවලියට එක් කර ගැනීමට නියමිතයි.

තරගයක් සදහා ක්‍රීඩා කරන එක් කණ්ඩායමක් සදහා අවසන් 11 දෙනා අතරට විදෙස් ක්‍රීඩිකාවන් 5 දෙනෙකුට ක්‍රීඩා කිරීම සදහා ද අවසර ලබා දී තිබෙනවා.

එමෙන්ම ඒ අතරට අයි සී සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටකින් අවම වශයෙන් එක් ක්‍රීඩිකාවක් ද ක්‍රීඩා කළ හැකියි.

තරගාවලියේ පළමු අදියර මාර්තු 4 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට ඉඩ ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති නමුත්, එය තවමත් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 6 ක ත්‍යාග මුදලක් ද, අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 3 ක මුදලක් ද, තෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ද පිරිනැමීමට නියමිතයි.

big 3