Watch : මුරලිගේ 800 චිත්‍රපටයේ නිල චලන පෝස්ටරය නිකුත් වෙයි

ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය කෙරෙන කොලිවුඩ් චිත්‍රපටයට අදාළ නිල පෝස්ටරය හා නිල චලන පෝස්ටරය (Motion Poster) අද (17) එළි දැක්වුණා.

මුරලිදරන්ගේ 51 වැනි උපන් දිනය ද අදට යෙදී ඇති පසුබිමකයි මෙම පෝස්ටරය එළිදක්වනු ලැබුවේ.

ටෙස්ට් කඩුලු 800 ක් දවා ගැනීමට සමත් වූ මුත්තයියා මුරලිදරන් ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙසයි ඉතිහාසගත වී ඇත්තේ. එම කඩුලු ගණන මෙම චිත්‍රපටයේ නම ලෙස යොදා තිබෙනවා.

Madhurr Mittal මෙම චිත්‍රපටයේ දී මුරලිදරන්ගේ චරිතය වෙනුවෙන් රංගනයෙන් එක් වනවා. මීට පෙර විජයි සේතුපති විසින් ඔහුගේ චරිතයට රංගනයෙන් එක්වීමට නියමිතව තිබූ නමුත්, මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජයි සේතුපතිට පාර්ශව රැසකින් බලපෑම් එල්ල වුණා. ඒ අනුව විජයි සේතුපති චිත්‍රපටයෙන් ඉවත් වීමට තීරණය කළා.

“වැරැදි වැටහීම හේතුවෙන් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙසට විජයි සේතුපතිට ඇතැම් පිරිසක් බලපෑම් කරනවා. මට අවශ්‍ය නැහැ තමිල්නාඩුවේ හොදම නලුවෙකු කරදරයකට පත් වෙනවට. ඒ නිසා මම ඔහුගෙන් ඉල්ලා සිටිනවා මෙම චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස. චිත්‍රපටයේ නිෂ්පාදකයින් මෙම අභියෝගය ජය ගන්නා බව මට විශ්වාසයි.” යනුවෙන් මුරලිදරන් නිවේදනයක් නිකුත් කරමින් මීට පෙර සදහන් කර තිබුණා.

එම්.එස් ශ්‍රීපති විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන අතර, එය දෙමළ, තෙලුගු හා හින්දි භාෂාවලින් ලබන නොවැම්බර් මාසයේ දී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

නිල පෝස්ටරය හා නිල චලන පෝස්ටරය පහතින් –

big 3
Comments (0)
Add Comment