2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට ඉඩ ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
රටවල් 20 ක් ක්‍රීඩා කරන තරගාවලියේ මෙවර සත්කාරකයින් ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි.
තරගාවලියේ තරග ඉන්දියාවේ ක්‍රීඩාංගන පහකදී ද, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන දෙකකදී ද පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.
අවසන් මහා තරගය අහ්මදාබාද්හීදී හෝ කොළඹදී පැවැත්වීමට ඉඩ තිබෙනවා. පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබන්නේ ද නැද්ද යන්න මත එය තීරණය වනු ඇති.
මේ වන විට ලෝක කුසලාන තරගාවලියට රටවල් 15 ක් සුදුසුකම් ලබා අවසන්. සත්කාරක රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව හැරුණු විට ඇෆ්ඝනිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, දකුණු අප්‍රිකාව, ඇමෙරිකා එක්සත් ජනපදය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, පාකිස්තානය, අයර්ලන්තය, කැනඩාව, නෙදර්ලන්තය හා ඉතාලිය යන රටවල් ද තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා.
අප්‍රිකා කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් තවත් රටවල් දෙකක් ද, ආසියානු හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් තවත් රටවල් 3 ක් ද තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.