T20 World Cup 2024 : ෆ්‍රේසර්-මැක්ගර්ක් හා ස්මිත් ඉවත් කරමින් ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබෙනවා.

පසුගිය වසරක කාලය තුළ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායම තාවකාලික පදනම මත මෙහෙය වූ මිචෙල් මාෂ්ගේ ස්ථීර නායකත්වයෙන් යුතුව නම් කර ඇති ලෝක කුසලාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

දක්ෂ නවක ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් හා ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨ පිතිකරුවෙකු ලෙස සැලකෙන ස්ටීවන් ස්මිත් මෙම සංචිතයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්. 2014 වසරෙන් පසුව ස්මිත් නොමැතිව ඔස්ට්‍රේලියාව ලෝක කුසලාන තරගාවලියක් ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙයයි.

කෙසේ වෙතත්, නම් කර ඇති ලෝක කුසලාන සංචිතවලට වෙනස්කම් කිරීම සදහා මැයි 25 වැනිදා දක්වා අයි.සී.සීය විසින් අවසර ලබා දී තිබෙනවා. ඉන් අනතුරුව සිදු කරන වෙනස්කම් සදහා අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය අවශ්‍යයි.

දග පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් හා තුන් ඉරියව් ක්‍රීඩක කැමරන් ග්‍රීන් සංචිතය සදහා කැදවා තිබෙනවා. 2022 වසරේ අග භාගයේ සිට මේ දක්වා ඔවුන් දෙදෙනාම ඔස්ට්‍රේලියානු විස්සයි 20 කණ්ඩායම නියෝජනය කර නැහැ.

පැට් කමින්ස්, මිචෙල් ස්ටක් හා ජෝෂ් හේසල්වුඩ් හැරුණු විට සංචිතයට නම් කර ඇති අනෙක් ප්‍රධාන වේග පන්දු යවන්නා වන්නේ නේදන් ඇලස්.

මැතිව් වේඩ් හා ජොෂ් ඉන්ග්ලිස් කඩුලු රකින පිතිකරුවන් ලෙස සංචිතයට ඇතුළත්. ඇෂ්ටන් ඒගාර් හා ග්ලේන් මැක්ස්වෙල් හැරුණු විට සංචිතයේ සිටින එකම ප්‍රධාන දග පන්දු යවන්නා වන්නේ ඇඩම් සම්පා පමණයි.

ස්මිත්ට අමතරව ලෝක කුසලාන සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අනෙක් ක්‍රීඩකයින් වන්නේ Aaron Hardie, Matt Short, Xavier Bartlett, Jason Behrendorff හා Spencer Johnson යන ක්‍රීඩකයින්.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ජූනි 6 වැනිදා බාර්බඩෝස් හී දී ඕමානයට එරෙහිවයි.

Squad:

Mitch Marsh (c), Ashton Agar, Pat Cummins, Tim David, Nathan Ellis, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Glenn Maxwell, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa

Comments (0)
Add Comment