T20 World Cup 2024 : නවකයින් දෙදෙනෙකු සමග දකුණු අප්‍රිකා සංචිතය නිවේදනය කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

ඒඩ්න් මාක්‍රම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෑතකදී මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක අන්රික් නොකියා හා ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් මෙම ලෝක කුසලාන සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

පිට කොන්ද ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් නොකියාට පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කිසිදු ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. ඩී කොක් මේ වන විටත් ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිටියට සමු දී ඇති නමුත්, ඔහු තවදුරටත් විස්සයි 20 ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කරනවා.

2024 SA20 තරගාවලියේ දී දක්ෂතා දැක් වූ Ryan Rickelton හා Ottniel Baartman ද සංචිතයට නම් කර තිබෙනවා. ඔවුන් දෙදෙනාම මෙතෙක් විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගෙන නැහැ.

තරගාවලියේ වැඩිම ලකුණුලාභියා වූ Rickelton ඉනිමක සාමාන්‍ය 58.88 ක් ලෙස සටහන් කර ගනිමින් MI Cape Town කණ්ඩායම වෙනුවෙන් ලකුණු 530 ක් රැස් කළේ ප්‍රහාරාත්මක වේගය 173.77 ක් ලෙස සටහන් කර ගනිමින්.

එම තරගාවලියේ දී Sunrisers Eastern Cape කණ්ඩායම නියෝජනය කළ Baartman තරග 8කදී කඩුලු 18 ක් දවා ගැනීමට සමත් වුණා.

දකුණු අප්‍රිකා සංචිතය සදහා සුපුරුදු පරිදි ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් නම් කර ඇති අතර, ඒ අනුව නායක මාක්‍රම් සමගින් ඩී කොක්, රීසා හෙන්ඩ්‍රික්ස්, හෙන්රික් ක්ලාසන්, ඩේවිඩ් මිලර් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් එම පිතිකරණ බලඇණිය ශක්තිමත් කරනු ඇති.

කාගිසෝ රබාඩා ප්‍රමුඛ වේග පන්දු බලඇණියට අන්රික් නොකියා, මාර්කෝ යැන්සන් හා ජෙරාල්ඩ් කොට්සියා ඇතුළත්. බියෝන් ෆෝටන් (Bjorn Fortuin), කේෂාව් මහරාජ් හා ටබ්රයිස් ශම්සි ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස සංචිතයට ඇතුළත්.

ජූනි පළමු වැනිදා ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී දී හා ඇමෙරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිතයි.

දකුණු අප්‍රිකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ ජූනි දෙවැනිදා (මෙරට වේලාවෙන් ජූනි 3 වැනිදා) නිව් යෝර්ක් හීදී ශ්‍රී ලංකාවට එරෙහිවයි.

South Africa squad:

Aiden Markram (c), Ottniel Baartman, Gerald Coetzee, Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Marco Jansen, Heinrich Klaasen, Keshav Maharaj, David Miller, Anrich Nortje, Kagiso Rabada, Ryan Rickelton, Tabraiz Shamsi, Tristan Stubbs.

Travelling reserves: Nandre Burger, Lungi Ngidi.

Comments (0)
Add Comment