2026 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව තුළ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අවසන් එකගතාවයකට පැමිණ ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අහ්මදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායිහීදී තරග පැවැත්වීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
එමෙන්ම තරගාවලියේ සම සත්කාරක රටක් වන ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩාංගණ තුනකදී තරග පැවැත්වීමට නියමිතයි. ඒ සදහා කොළඹ පිහිටි ක්‍රීඩාංගන දෙකක් සහ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනය යොදා ගැනීමට ඉඩ ඇති බව සදහන්.
T20 ලෝක කුසලානය පෙබරවාරි 7 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් මහා තරඟය මාර්තු 8 වැනිදා අහ්මදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, තරගාවලියේ තරග කාලසටහන හෝ ක්‍රීඩාංගන පිළිබද තොරතුරු මෙතෙක් නිල වශයෙන් අයි.සී.සීය ප්‍රකාශයට පත් කර නැහැ.
PTI පුවත් සේවය වාර්තා කර ඇත්තේ ICC විසින් ලබන සතියේදී තරග කාලසටහන නිකුත් කිරීමට ඉඩ ඇති බවයි.
මෙම තරගාවලියේදී ද පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවහොත් එම තරගයද ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය සදහා මෙවරත් රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.