T20 WC : ප්‍රබලයෙක් ලෝක කුසලාන සංචිතයෙන් දොට්ට දායි – අන්තිම දවසේ නොසිතූ තීරණයක්

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතයෙන් ධනංජය ද සිල්වා ඉවත් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබෙනවා.

ඔහු වෙනුවට කමිදු මෙන්ඩිස් යළි විස්සයි 20 සංචිතයට කැදවීමටයි අවධානය යොමු කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලිය සදහා සියලු රටවල් විසින් සංචිත ප්‍රකාශයට පත් කළ යුතු අවසන් දිනය වන්නේ අද දිනයයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් සිය සංචිතය නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මෑතකදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමට යළි කැදවූ නමුත්, ඔහු පිතිකරණයෙන් සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට සමත් වූයේ නැහැ.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති බැවින් ඔහුගේ පන්දු යැවීමේ හැකියාව ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය වැදගත් වන නමුත්, පිතිකරුවෙකු ලෙස ඔහුගේ අසාර්ථකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල බලපෑමක් එල්ල කර තිබෙනවා.

ඊයේ එංගලන්තය සමග පැවැති පළමු විස්සයි 20 තරගයේදී ද ඔහු පන්දු 12 කින් රැස් කළේ ලකුණු 11 ක් පමණයි.

ඔහු වෙනුවට සංචිතයට කැදවීමට නියමිත බවට වාර්තා වන කමිදු මෙන්ඩිස් මේ දිනවල එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි 20 තරගාවලිය සදහා ද නම් කෙරුණේ නැහැ.

big
Comments (0)
Add Comment