T20 ලෝක කුසලානය ගැන බංග්ලාදේශය අවසන් තීරණය ප්‍රකාශයට පත් කරයි

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී ක්‍රීඩා නොකර සිටීමට ගත් තීරණය වෙනස් කිරීමට සූදානම් නොමැති බව බංග්ලාදේශ රජයේ ක්‍රීඩා උපදේශක Asif Nazrul පවසනවා.

ඒ, තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ඉන්දියාවට පැමිණෙන්නේදැයි අවසන් තීරණය ප්‍රකාශ කිරීම සදහා බංග්ලාදේශයට හෙට (21) දිනය දක්වා අයි.සී.සීය අවස්ථාව ලබා දී ඇති පසුබිමකයි.

බංග්ලාදේශය ඉන්දියාවට පැමිණීමට තවදුරටත් විරුද්ධත්වය පල කරන්නේ නම් බංග්ලාදේශ කණ්ඩායමට ලෝක කුසලානය අහිමි වනු ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් වෙනුවට ශ්‍රේණිගත කිරීම් සලකා බලා ස්කොට්ලන්ත කණ්ඩායම ලෝක කුසලානයට ආදේශ කිරීමට අයි.සී.සීය කටයුතු කරනු ඇති.

“අපේ ස්ථානයට ස්කොට්ලන්තය ඇතුළත් වේවිදැයි මම දන්නේ නෑ” යනුවෙන් Asif Nazrul මාධ්‍ය වෙත සදහන් කළා.

“ICC ය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පීඩනයට හිස නමා අසාධාරණ කොන්දේසි පනවා අප මත පීඩනය යෙදීමට උත්සාහ කළහොත්, අපි එම කොන්දේසි පිළිගන්නේ නැ”

“අතීතයේදී පාකිස්තානය ඉන්දියාවට නොයන බව පැවසූ විට ICC ය ස්ථානය වෙනස් කළ බවට උදාහරණ තියෙනවා”

“අපි තාර්කික පදනමක් මත ස්ථානය වෙනස් කරන ලෙස ඉල්ලා සිටිනවා, තාර්කික නොවන පීඩනයක් එල්ල කිරීමෙන් ඉන්දියාවේ ක්‍රීඩා කිරීම සදහා අපිට බලපෑම් කරන්න බෑ”

පසුගිය සෙනසුරාදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හා අයි.සී.සී නියෝජිතයින් අතර සාකච්ඡාවක් පැවැති අතර, එහිදී බංග්ලාදේශය ඉල්ලා තිබුණේ සිය කණ්ඩායමට ඔවුන්ගේ සියලුම තරග ඉන්දියාවේදී ක්‍රීඩා නොකර ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කිරීමට හැකි වන පරිදි තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කරන ලෙසයි.

ඒ අනුව මේ වන විට ‘C’ කාණ්ඩයේ රැදී සිටින බංග්ලාදේශය, ‘B’ කාණ්ඩයට (ශ්‍රී ලංකාව ද රැදී සිටින්නේ එම කාණ්ඩයේයි) ඇතුළත් කරන ලෙසත්, ‘B’ කාණ්ඩයේ රැදී සිටින අයර්ලන්තය ඉන් ඉවත් කර ඔවුන්ව ‘C’ කාණ්ඩයට ආදේශ කරන ලෙසත් බංග්ලාදේශය ඉල්ලා තිබුණා.

නමුත්, අයි.සී.සී නියෝජිතයින් මෙලෙස තරග කාලසටහන සංශෝදනය කිරීමට එකගතාවය පල කර නැහැ.

big
Comments (0)
Add Comment