T20 ලෝක කුසලානය ගැන පරීක්ෂණයක් සිදු කරන්න අයි.සී.සීයෙන් ත්‍රිපුද්ගල කමිටුවක්

ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැති 2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) තීරණය කර තිබෙනවා.

අයි.සී.සී අධ්‍යක්ෂවරු තිදෙනෙකු වන Roger Twose, Lawson Naidoo හා Imran Khwaja විසින් මෙම සමාලෝචනය සිදු කිරීමට නියමිත බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මෙම වසර අවසානයේ දී ඔවුන් තිදෙනා විසින් සිය වාර්තාව අයි.සී.සීය වෙත භාර දීමට නියමිතයි.

අද(22) කොළඹ දී නිමා වූ අයි.සී.සී වාර්ෂික සමුළුව අතරතුර දී මෙම තීරණය ගෙන තිබෙනවා. සාමාජික රටවල් 108 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටියා.

නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇතිව තිබූ අතර, ඇමෙරිකානු අදියර සදහා වැය වූ මුදල් ප්‍රමාණය ද සීමාව ඉක්මවා ගොස් තිබූ බවට තොරතුරු වාර්තා වී තිබුණා. ඒ අනුව ඇමෙරිකානු අදියරෙන් අයි.සී.සීයට ඩොලර් මිලියන ගණනක අලාභයක් සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඊට අමතරව නිව්යෝර්ක් ක්‍රීඩාංගනයට යොදා ගත් තණතීරුවල ප්‍රමිතිය පිළිබදව ද දැඩි ගැටලු ඇති වූ අතර, ප්‍රවාහන ඇතුළු තරගාවලියට ලබා දිය යුතු මූලික අවශ්‍යතා සම්බන්ධයෙන් ද විවිධ ගැටලු මතු වුණා.

top
Comments (0)
Add Comment