2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන්ට පාකිස්තානය හමුවේ ලකුණු 31 කින් අද(3) පරාජයට පත් වීමට සිදු වුණා.
සාජා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 116 ක්.
ඔවුන්ගේ 8 වැනි කඩුල්ල ලකුණු 84 දී බිද වැටුණු නමුත්, නායිකා ෆාතිමා සානා පන්දු 20 කින් ලකුණු 30 ක් රැස් කරමින් සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා පාකිස්තාන කණ්ඩායම රැගෙන ගියා. නිදා දාර් ලකුණු 23 යි.
පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, සුගන්දිකා කුමාරි හා චමරි අතපත්තු කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 85 පමණයි.
චමරි අතපත්තු ලකුණු හයකටත්, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 7කටත් දැවී ගියා. හසිනි පෙරේරා ලකුණු 8ක් ලබා සිටියදී දැවී ගිය අතර, කවීෂා දිල්හාරි ලබා ගත්තේ ලකුණු 3ක් පමණයි. ආරම්භක පිතිකාරිණී විශ්මි ගුණරත්න 5 වැනි කඩුල්ල ලෙස ලකුණු 20 කට දැවී ගියා. නිලක්ෂිකා සිල්වා ලකුණු 22 යි.
පන්දු යැවීමේ දී සදියා ඉක්බාල් ලකුණු 17 කට කඩුලු 3 ක් දවා ගත් අතර, ඔමයිමා සොහයිල්, ෆාතිමා සානා හා නශ්රා සන්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.
මේ අතර, තරගාවලියේ පළමු තරගයෙන් ස්කොට්ලන්තය පරදා ලකුණු 16 ක ජයක් ලැබීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද සමත් වුණා.
සාජාහී දී පැවැති එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7 ක් දැවී ලකුණු 119 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ස්කොට්ලන්තය ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී ලකුණු 103 පමණයි.