T20 ලෝක කුසලානයේ තරග කාලසටහන නිවේදනය කෙරේ – ශ්‍රී ලංකාවේ කාලසටහන මෙන්න

ශ්‍රී ලංකාවේදී හා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(25) නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය පෙබරවාරි 7 වැනිදා සිට මාර්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, තරගාවලියට රටවල් 20 ක් ක්‍රීඩා කරනවා.

ශ්‍රී ලංකාවේ කොළඹ ආර්. ප්‍රේමදාස, SSC, මහනුවර පල්ලේකැලේ යන ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වෙන අතර, ඉන්දියාවේ කොල්කටා, මුම්බායි, අහ්මදාබාද්, චෙන්නායි හා දිල්ලි යන ක්‍රීඩාංගනවලදී ද තරග පැවැත්වෙනවා.

තරගාවලියේ මූලික වටයේ දී එක් දිනකදී තරග 3 බැගින් පැවැත්වීමට නියමිතව තිබීම ද විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී B ඛාණ්ඩයෙන් තරග වදිනවා. එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය, සිම්බබ්වේ යන රටවල්.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පෙබරවාරි 8 වැනිදා අයර්ලන්තයට එරෙහිව කොළඹදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. (කාලසටහන පහතින්)

ඉන්දියාව හා පාකිස්තානය මෙවර ද එකම ඛාණ්ඩයකින් තරග වදිනවා. එම රටවල් දෙක එකිනෙකා මුණ ගැසෙන්නේ පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

මූලික වටයේදී ඉන්දියාවේ අනෙක් ප්‍රතිවාදී රටවල් වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, නැමීබියාව හා නෙදර්ලන්තයයි.

පාකිස්තානය ක්‍රීඩා කරන සියලු තරග පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදීයි.

එක් ඛාණ්ඩයකට රටවල් 5 බැගින් ඛාණ්ඩ 4 ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වෙන අතර, ඒ ඒ ඛාණ්ඩවල පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා රටවල් 8 සුපිරි 8 වටයට සුදුසුකම් ලබනවා.රටවල් 4 බැගින් ඛාණ්ඩ දෙකක් යටතේ සුපිරි 8 වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

පළමු අවසන් පූර්ව තරගය මාර්තු 4 වැනිදා කොල්කටාහීදී හෝ කොළඹදී පැවැත්වීමට නියමිත අතර, දෙවැනි අවසන් පූර්ව තරගය මාර්තු 5 වැනිදා මුම්බායිහීදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අවසන් මහා තරගය අහ්මදාබාද්හීදී පැවැත්වීමට නියමිතව ඇතත්, පාකිස්තානය සුදුසුකම් ලැබුවහොත් එම තරගය කොළඹදී පැවැත්වීමට නියමිතයි.

Comments (0)
Add Comment