ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය අද(28) පැවැත්වෙනවා.
තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ම රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 43 ක ජයක් වාර්තා කළ ඉන්දියාව මේ වන විට තරග 1-0 ක් ලෙස තරග 3කින් යුත් විස්සයි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.
ඒ අනුව තරගාවලිය පරාජයට පත් වීමෙන් ගැළවීමටනම් ශ්‍රී ලංකාවට අද තරගයේ ජය අනිවාර්යය වනවා.
මේ අතර, අද තරගය වෙනුවෙන් බොහෝ විට තවත් දග පන්දු යවන්නෙකු කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සදහන් කළා.
පළමු තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියා.
“මම තාම දන්නේ නෑ හෙට (ඉරිදා) ක්‍රීඩා කරන තණතීරුව මොකක්ද කියලා. ඒ තණතීරුව අනුව ගොඩක් වෙලාවට දග පන්දු යවන්නෙක් තව ක්‍රීඩා කරන්න අවස්ථාවක් තියෙනවා.” යනුවෙන් චරිත් අසලංක පවසා සිටියා.
පළමු තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඩිල්ෂාන් මදුෂංක, අසිත ප්‍රනාන්දු හා මතීෂ පතිරණ යන වේග පන්දු යවන්නන් තිදෙනා ක්‍රීඩා කළා. ඔවුන් තිදෙනාම දැඩි ප්‍රහාරයකට ලක් වූ නමුත්, මතීෂ පතිරණ කඩුලු 4 ක් දවා ගනිමින් ඉන්දීය කණ්ඩායමට යම් තර්ජනයක් එල්ල කිරීමට සමත් වුණා.
තුන් ඉරියව් වේග පන්දු යවන්නෙකු වන දසුන් ශානක ද කණ්ඩායමේ රැදී සිටි නමුත්, ඔහුට එක් පන්දුවාරයක් හෝ යැවීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ අනුව බොහෝ විට අද තරගයේ දී ඩිල්ෂාන් මදුෂංක වෙනුවට දග පන්දු යවන්නෙකු කණ්ඩායමට කැදවීමේ අවස්ථාවක් පවතිනවා.
වනිදු හසරංග හා මහීෂ් තීක්ෂණ දග පන්දු යවන්නන් ලෙස පළමු තරගයට ක්‍රීඩා කළා. ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටින අනෙක් දග පන්දු යවන්නන් දෙදෙනා වන්නේ රමේෂ් මෙන්ඩිස් හා දුනිත් වෙල්ලාලගේ. ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට අද තරගයේ දී කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට ඉඩ තිබෙනවා.
මේ අතර, පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම ඉතා දුර්වල මට්ටමක පැවැති අතර, උඩ පන්දු කිහිපයක් ද ගිලිහී ගියා. එය කණ්ඩායමේ පරාජයට ද බෙහෙවින් බලපානු ලැබුවා.
ඒ අනුව අද තරගයේ දී පන්දු රැකීමේ අංශය ද වැඩි දියුණු කර ගත යුතු බවයි චරිත් අසලංක මාධ්‍ය හමුවේ දී සදහන් කළේ.
“පන්දු රැකීමෙන් අපේ දුර්වලතා තිබුණා. ක්‍රීඩාවේදී ඒ දේවල් වෙන්න පුලුවන්. හැබැයි Professional Cricketers ලා විදිහට අපි ඒක අඩු කරගන්න ඕනෙ. ඉතිං මමත් කණ්ඩායමට කියන්න බලපොරොත්තුවෙන්නේ කොහොම හරි අපේ catching percentage එක වැඩි කර ගන්න ඕනේ.මොකද T20 game එකේ දී important catch එකක් ගියාම ඒක අපිට ගොඩක් බලපානවා.”
“අනිවාර්යයෙන්ම කණ්ඩායමක් විදිහට පන්දු රැකීම අපි තව වැඩිදියුණු කරගන්න ඕනෙ ඊළග තරගයේ දී. නායකයෙක් විදිහට මම බලාපොරොත්තුවෙනවා අනිත් අයවත් දිරිමත් කරලා පන්දු රැකීම තව පොඩ්ඩක් උස්සගන්න.”