රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නව නායකයා ලෙස රාජත් පටිදර් පත් කර තිබෙනවා.
මාර්තු 21 වැනිදා ආරම්භ වන එළඹෙන අයි.පී.එල් තරගාවලිය අරමුණු කර ගනිමින් මෙම පත් කිරීම සිදු කර ඇත්තේ හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් එම සංචිතයේ රදවා නොගැනීමට කණ්ඩායම් කලමනාකාරීත්වය පියවර ගෙන තිබූ බැවිනුයි.
2022 වසරේ සිට 2024 වසර දක්වා RCB කණ්ඩායමේ නායකයා ලෙස ඩු ප්ලෙසිස් කටයුතු කළ නමුත්, නිමා වූ මෙගා ක්‍රීඩක වෙන්දේසියට පෙර ඔහුව සංචිතයෙන් නිදහස් කිරීමට RCB කලමනාකාරීත්වය පියවර ගත්තා.
අනතුරුව විරාත් කෝලි යළි එම කණ්ඩායමේ නායකයා ලෙස පත් කිරීමට ඉඩ ඇති බවට ද මාධ්‍ය වාර්තා පලව තිබුණා.
කෙසේ වෙතත්, RCB කණ්ඩායම් අධ්‍යක්ෂ Mo Bobat, හා ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් බැංගලූරුහීදී අද(13) වැඩසටහනකට එක්වෙමින් නව නායකයා නිවේදනය කළා. රාජත් පටිදර් ද එම අවස්ථාවට එක් වුණා.
බැංගලූරු කණ්ඩායමේ 8 වැනි නායකයා ලෙසයි පටිදර් ඉතිහාසයට එක්වන්නේ. මීට පෙර රාහුල් ඩ්‍රාවිඩ්, කෙවින් පීටර්සන්, අනිල් කුම්බ්ලේ, ඩැනියල් විටෝරි, විරාත් කෝලි, ශේන් වොට්සන් හා ෆෆ් ඩු ප්ලෙසිස් යන ක්‍රීඩකයින් RCB කණ්ඩායමේ නායකත්වය දරා තිබුණා.
පටිදර් 2021 වසරේ සිට තරග වාර තුනකදී එම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. එහිදී තරග 28කදී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 799 ක්. 2023 තරගාවලිය ආබාධයක් හේතුවෙන් ඔහුට අහිමි වුණා.
බැංගලූරු කණ්ඩායම මෙතෙක් කිසිදු අයි.පී.එල් ශූරතාවයක් ජය ගෙන නොමැති නමුත්, ඔවුන් තරගාවලි තුනක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
මේ අතර, කොල්කටා නයිට් රයිඩර්ස් හා දිල්ලි කැපිටල්ස් යන කණ්ඩායම් මෙතෙක් ඔවුන්ගේ නායකයින් කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කර නැහැ.
පසුගිය වසරේදී කොල්කටා පිලට නායකත්වය ලබා දුන් ෂ්රෙයස් අයියර් එළඹෙන තරගාවලියේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම ද, දිල්ලි කණ්ඩායමේ හිටපු නායක රිෂාබ් පාන්ට් එළඹෙන තරග වාරයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ද මෙහෙයවීමට නියමිතයි.