RCB කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙකු ආදේශ කෙරේ

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් නව ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ‍්, ආබාධවලට ලක් වූ රීස් ටොප්ලි හා රාජත් පටිදර් වෙනුවටයි.

ඒ අනුව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක රීස් ටොප්ලි වෙනුවට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක වේන් පාර්නෙල් සමග බැංගලෝර් කණ්ඩායම ගිවිසුම්ගත වී තිබෙනවා.

රාජත් පටිදර් වෙනුවට සංචිතයට ආදේශ කර ඇත්තේ විශාක් විජයි කුමාර්.

ටොප්ලි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පසුගිය දෙවැනිදා පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටියදී දකුණු උරහිසේ ආබාධයකට ලක් වුණා.

රාජත් පටිදර්ට මෙවර අයි.පී.එල් තරගාවලියම අහිමි වුණේ පාදයක සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

පාර්නෙල් මේ දක්වා දකුණු අප්‍රිකා කණ්ඩායම 20යි 20 තරග 56 කදී, එක්දින තරග 73 කදී හා ටෙස්ට් තරග 6 කදී නියෝජනය කර තිබෙනවා. 20යි 20 ජාත්‍යන්තර තරගවලදී ඔහු බිද හෙලා ඇති කඩුලු ගණන 59 ක්.

අයි.පී.එල් තරග 26 ක් සදහා ක්‍රීඩා කර ඇති පාර්නෙල් ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක මුදලක් යටතේයි RCB කණ්ඩායම සමග එක් වී ඇත්තේ.

දේශිය තරග පිටියේ දී කර්නාටක කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන විජයි කුමාර් 20යි 20 තරග 14 කදී කඩුලු 22 ක් දවා ගෙන තිබෙනවා. ඉන්දීය රුපියල් ලක්ෂ 20 ක මුදලකටයි ඔහු බැංගලෝර් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී ඇත්තේ.

big 3
Comments (0)
Add Comment