2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් නෙදර්ලන්තය පරදා කඩුලු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය අද සමත් වුණා.
කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන් පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 147 ක් ලබා ගත්තා.
නායක ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 37 ක් හා බැස් ද ලීඩා ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේදී සල්මන් මිර්සා ලකුණු 24 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඔවුන් එක් අවස්ථාවක කඩුලු 2 ක් දැවී ලකුණු 98 ක් ලබා ස්ථාවර මට්ටමක පසු වූ නමුත්, පාකිස්තානයේ 7 වැනි කඩුල්ල ලකුණු 114 ක් වන විට බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු නෙදර්ලන්තයට හිමි කර දෙමින්.
කෙසේ වෙතත්, ෆහීම් අශ්රෆ් පන්දු 11 කින් හයේ පහර 3 ක් හා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 29 ක් නොදැවී ලබා ගනිමින් තරගයේ ජයග්‍රහනය නෙදර්ලන්තයෙන් උදුරා ගත්තා.
ඔහු එක් ලකුණක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් Max O’Dowd අතින් ගිලිහී යාම ද විශේෂත්වයක්.