Match Preview : අද තරගයේ දී ශ්‍රී ලංකාව ගන්න යන දැඩී තීන්දුව මොකක්ද?

පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9 ලකුණු 30 ක් තුළ දැවී ගිය අතර, දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 32 ක් තුළ බිද වැටුණා.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද(30) පැවැත්වෙනවා.

තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී අද රාත්‍රී 7:00 ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරග දෙක ජය ගත් ඉන්දියාව තරග 2-0 ක් ලෙස මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

මැදපෙල අසාර්ථකත්වයට විසදුම මොකකක්ද?

පළමු හා දෙවැනි තරගවලදී ශ්‍රී ලංකා මුල් පෙල සාර්ථක වූ නමුත්, මැද පෙල කඩා වැටීම තරග පරාජය වීමට බලපෑවා.

පළමු තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9 ලකුණු 30 ක් තුළ දැවී ගිය අතර, දෙවැනි තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7 ක් ලකුණු 32 ක් තුළ බිද වැටුණා.

ඒ අනුව තරග ජයග්‍රහනය කිරීමටනම් ශ්‍රී ලංකා මැදපෙල අසාර්ථකත්වයට විසදුම් සෙවීමට මේ වන විට බලධාරින්ට සිදුව තිබෙනවා.

නායක චරිත් අසලංක ද පළමු තරගයේ දී ලකුණු නොලබා දැවී ගිය අතර, දෙවැනි තරගයේ දී ලබා ගත්තේ ලකුණු 14 ක් පමණයි. වනිදු හසරංග මෙන්ම දසුන් ශානක ද පිතිකරණයෙන් පළමු තරග දෙකේ දී ම අසාර්ථක වුණා.

දිගින් දිගටම පිතිකරණයේ දී දක්වන අසාර්ථකත්වයට දැඩි තීරණ ගැනීමට සිදු වන බවයි පිතිකරණ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි දෙවැනි තරගයෙන් පසුව මාධ්‍ය හමුවේ සදහන් කර සිටියේ.

“මොකද මේක පළවෙනි වතාව නෙවෙයි. ඊයෙත් මේ දේම වුණා. අපිට ලෝක කුසලානයේ බංග්ලාදේශ තරගයේදීත් මේක වුණා. ඉතිං අපි ඒක ගැන කතා කරලා ඒකට විසදුම් එයාලගෙන් (අරගෙන)…, එකගවුණ සැලසුමකට තමයි අපි වැඩ කරන්නේ. හැබැයි ඒ ප්‍රතිපලය එන්නේ නෑ. මම හිතනවා ටිකක් තද තීරණ ගන්න වෙයි ඉදිරියේ දී.” යනුවෙන් පිතිකරණ පුහුණුකරු කියා සිටියා.

දැඩි තීන්දුව මොකක්ද?

ශ්‍රී ලංකා කණ්ඩායමේ අංක 6 පිතිකරු දසුන් ශානක අවසන් විස්සයි 20 ජාත්‍යන්තර ඉනිම් තුනේදීම ලකුණු නොලබා දැවී ගොස් තිබෙනවා. අවසන් විස්සයි 20 ජාත්‍යන්තර තරග පහේ දී දසුන් ලබා ගෙන ඇත්තේ ලකුණු 12 ක් පමණයි.

ඒ අනුව ඔහු වෙනුවට අද තරගයේ දී නවක ක්‍රීඩක චමිදු වික්‍රමසිංහ විස්සයි 20 ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

LPL තරගාවලියේ දී පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දක්වමින් තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලැබූ ඔහුට ඇතැම් විට මෙම තරගාවලියේ දී ක්‍රීඩා කිරීම සදහා අවස්ථාවක් ලැබෙනු ඇති බවට තේරීම් කමිටු සභාපති උපුල් තරංග ද පසුගියදා සදහන් කළා.

වේග පන්දු යවන්නෙකු ලෙස පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමට දායකත්වය ලබා දිය හැකි බැවින්, දසුන් ශානක වෙනුවට චමිදු වික්‍රමසිංහ කණ්ඩායමට කැදවීමට අද තරගයේ දී කණ්ඩායම් කලමනාකාරීත්වයේ අවධානය යොමු වනු ඇති.

කමිදු මෙන්ඩිස් දෙවැනි තරගයේ දී ලකුණු 26 ක් රැස් කළ අතර, ඔහුට තවදුරටත් කණ්ඩායමේ ස්ථානයක් හිමි වනු ඇති බවට අපේක්ෂා කළ හැකියි.

දිනේෂ් චන්දිමාල් හා අවිශ්ක ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා සංචිතයේ රැදී සිටින නමුත්, මුල් පෙල පිතිකරුවන් ලකුණු අතර රැදී සිටින බැවින් ඔවුන් දෙදෙනාට අද තරගයේ දී ද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට ඇත්තේ අවම අවස්ථාවක්.

ඩිල්ෂාන් මදුෂංක වෙනුවට රමේෂ් මෙන්ඩිස් දෙවැනි විස්සයි 20 තරගයට ආදේශ කළ නමුත්, පන්දුවාර 8කට සීමා වූ ඉන්දීය ඉනිම තුළ දී ඔහුට කිසිදු පන්දුවාරයක් යැවීමට හැකි වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පවතින පිතිකරණයේ ගැටලු සහගත තත්ත්වය හේතුවෙන් රමේෂ් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයෙකු අංක 8 ස්ථානයේ පන්දුවට පහර දීම ද අතිශය වැදගත්. ඔහු වෙනුවට කණ්ඩායමට ආදේශ කරන්නේනම් ඒ සදහා සංචිතයේ ඉතිරිව ඇති සුදුසුම අනෙක් ක්‍රීඩකයා වන්නේ දුනිත් වෙල්ලාලගේ.

ඉන්දීය කණ්ඩායමට වෙනසක් ?

තරගාවලිය මේ වන විටත් ජයගෙන අවසන්ව ඇති බැවින් සංචිතයේ සිටින අනෙක් ක්‍රීඩකයින්ට ද අවසන් තරගයේ දී අවස්ථාවක් ලබා දීමට ඉන්දීය කණ්ඩායමේ කලමනාකාරීත්වයේ අවධානය යොමු වීමට ඉඩ තිබෙනවා.

නමුත්, සංජු සැම්සන්, රින්කු සිං හා රියාන් පරාග් වැනි ක්‍රීඩකයින්ට ද තවදුරටත් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද ඔවුන්ගේ අවධානය යොමු වනු ඇති.

අඛණ්ඩව දින දෙකක් තුළ තරග දෙකක් ක්‍රීඩා කළ බැවින් වේග පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු කිරීම සම්බන්ධයෙන් ද එරට කලමනාකාරීත්වය සැලකිලිමත් වීමට තිබෙනවා.

එසේ වුවහොත් කලීල් අහ්මඩ්ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට ඉඩ ඇති අතර, වොෂින්ටන් සුන්දර් ද ඇතැම් විට කණ්ඩායමට කැදවනු ඇති.

ශිවම් ඩූබේට ද මෙවර තරගාවලියේ දී කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ. සෑම ක්‍රීඩකයෙකුටම අවස්ථාවක් ලබා දීමට ඉන්දියාව අවධානය යොමු කළහොත්, ඔහුට ද අද තරගයේ දී ස්ථානයක් හිමි වීමට ඉඩ පවතිනවා.

Comments (0)
Add Comment