LPL පිටියේ විනය කැඩූ ක්‍රීඩකයින් 4 දෙනෙකුට දඩුවම්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එරෙහිව දඩුවම් පැනවීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව දඹුල්ල අවුරා කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පසුගිය 5 වැනිදා පැවැති තරගයේ දී එල්.පී.එල් විනය නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් හසන් අලී, කුසල් මෙන්ඩිස් හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින්ට දඩ හා දඩුවම් ලකුණු පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

දඹුල්ල කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලීට තරග ගාස්තුවෙන් 15% ක දඩ මුදලක් හා එක් දඩුවම් ලකුණක් පනවා තිබෙනවා. ඒ, එල්.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.21 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

දඹුල්ල නායක කුසල් මෙන්ඩිස්ට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් හා එක් දඩුවම් ලකුණක් නියම කර ඇත්තේ ද එල්.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.21 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

එල්.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.6 වගන්තිය උල්ලංඝනය කිරීම නිසා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියෝජනය කරන චාමික කරුණාරත්නට තරග ගාස්තුවෙන් 30% ක දඩ මුදලක් හා දඩුවම් ලකුණු 2 ක් නියම කර තිබෙනවා.

ඊට අමතරව චාමිකට එරෙහිව තරග ගාස්තුවෙන් 25% ක දඩ මුදලක් හා දඩුවම් ලකුණක් පනවා ඇත්තේ එල්.පී.එල් විනය නීති සංග්‍රහයේ 2.21 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන්.

මේ අතර, 2.5 වගන්තිය උල්ලංඝනය කළ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ නසීම් ශාහ්ට එරෙහිව තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් හා දඩුවම් ලකුණක් නියම කිරීමට ද තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

ජූලි 30 වැනිදා පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම හා කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර තරගයේ දී වූ සිදු වීමකට අදාළවයි එම දඩුවම පනවා ඇත්තේ.

සියලු ක්‍රීඩකයින් සිය වරද පිළිගෙන ඇති බව ද ක්‍රිකට් ආයතනය සදහන් කළා.

big 3
Comments (0)
Add Comment