LPL තරගාවලියට ක්‍රීඩකයින් තේරුවේ කොහොමද ?

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් තේරීමේ කටයුතු පසුගිය 19 වනදා සිදු කෙරුණා.

එහිදී එක් සංචිතයකට අතිරේක ක්‍රීඩකයින් සිව්දෙනෙකු ද සමග ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම් හිමිකරුවන්ට හිමි වුණා.

ඉන් ප්‍රධාන ක්‍රීඩකයින් 16 දෙනා අතරට දේශීය ක්‍රීඩකයින් 10 දෙනෙකු සහ විදේශීය ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත්.

විදේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකුට පමණක් එකවර තරගයකට ක්‍රීඩා කළ හැකියි.

මෙහිදී මූලික වශයෙන් සෑම කණ්ඩායමකටම දේශීය සන්නාමික (Icon Player) ක්‍රීඩකයකු බැගින් නම් කර කණ්ඩායම්වල නායකත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබුණා.

එම පත් කිරීම් හැරුණු විට අනෙක් ක්‍රීඩකයින් 19 දෙනාම තෝරා ගැනීමේ පූර්ණ අයිතිය ඒ ඒ කණ්ඩායම්වල හිමිකරුවන් සතු වුණා.

එහිදී සන්නාම ක්‍රීඩකයා හැරුණු විට සමස්ථ සංචිතය තෝරා ගැනීම ප්‍රධාන කොටස් 7 කටයි බෙදා තිබුණේ.

ඒ අතරට ප්‍රධානම දෙස්/විදෙස් හෙවත් Marquee Overseas/Local ක්‍රීඩකයෙක්, ප්‍රධානම විදෙස් හෙවත් Marquee Overseas ක්‍රීඩකයෙක්, විදේශ ඉහළ (Gold Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ඉහළ (Gold Local) ක්‍රීඩකයින් 4 ක්, විදේශ ක්ලැසික් (Classic Overseas) ක්‍රීඩකයින් 2 ක්, දේශීය ක්ලැසික් (Classic Local) ක්‍රීඩකයින් 3 ක්, නැගී එන දේශීය (Emerging Local) ක්‍රීඩකයින් 2 ක් සහ අතිරේක දේශීය (Supplementary Local) ක්‍රීඩකයින් 4 ක් ඇතුළත් විය යුතුයි.

ජාත්‍යන්තර සහ දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින් 258 දෙනෙකු කාණ්ඩ 4 ක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් කර තිබුණා.

දේශීය ඉහළ (Gold Local) යටතේ ක්‍රීඩකයින් 21 ක්, දේශීය ක්ලැසික් (Classic Local) යටතේ ක්‍රීඩකයින් 36 ක්, නැගී එන දේශීය (Emerging Local) යටතේ ක්‍රීඩකයින් 109 ක් සහ අතිරේක දේශීය(Supplementary Local) යටතේ ක්‍රීඩකයින් 92 දෙදෙනකු ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවට (Player Draft) මෙලෙස ඉදිරිපත් කර තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දින 15ක කාලයක් පැවැත්වෙන මෙවර ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලියට තරග 23 ක් ඇතුළත් අතර, එය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 13 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී යි.

(මූලාශ්‍රය – ශ්‍රී ලංකා ක්‍රිකට්)

Comments (0)
Add Comment