ICC සුපර් ලීගයේ නවතම ප්‍රසාද ලකුණු සටහන

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්තාන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය හෙට(27) පැවැත්වෙනවා.

එම තරගය ද මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරගයෙක් ලකුණු 60 ක ජයක් වාර්තා කළ ඇෆ්ඝනිස්තානය මේ වන විට තරග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

ඊයේ පැවැති පළමු තරගයෙන් ජය ලැබීමත් සමග ඇෆ්ඝනිස්තානයට ලෝක කුසලාන සුපර් ලීගය යටතේ තවත් ප්‍රසාද ලකුණු 10 ක් හිමි වුණා.

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටින ඇෆ්ඝනිස්තානය තරග 13 කදී ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 110 ක්.

ශ්‍රී ලංකාව තවදුරටත් 10 වැනි ස්ථානයේ රැදී සිටින්නේ තරග 19 කදී ප්‍රසාද ලකුණු 62 ක් හිමි කර ගනිමින්.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් සෘජුව සුදුසුකම් ලබා ගනු ලබන්නේ මෙම ලීග් ක්‍රමවේදය තුළින්.

2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය හිමිව ඇති බැවින් ඉන්දියාව මේ වන විටත් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ඇති බැවින්, ඔවුන් හැර සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු රටවල් හත 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුවම සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.