පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව ක්‍රීඩා කරන තරග පැවැත්වෙන රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය තෝරා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Mohsin Naqvi හා එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනයේ ප්‍රධානී Sheikh Nahyan Al Mubarak අතර පාකිස්තානයේදී පැවැති සාකච්ඡාවකින් පසුවයි ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ ඇත්තේ.
තරගාවලිය යටතේ පැවැත්වෙන ඉන්දීය තරග ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට ද මීට පෙර පාකිස්තානයේ අවධානය යොමුව තිබූ නමුත්, ඔවුන් එම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට අවසන් වශයෙන් තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අනුව බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් මූලික වටයේ ඉන්දු-පාකිස්තාන තරගය පෙබරවාරි 23 වැනිදා ඩුබායිහීදී පැවැත්වීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත්, තරගාවලියේ තරග කාලසටහන මෙතෙක් අයි.සී.සීය විසින් නිල වශයෙන් නිවේදනය කර නැහැ.
Champions Trophy 2025 groups
- Group A – Pakistan, Bangladesh, India and New Zealand
- Group B – Afghanistan, Australia, England and South Africa
ඉන්දියාව හා බංග්ලාදේශය අතර තරගය පෙබරවාරි 20 වැනිදා ද, ඉන්දියාව හා නවසීලන්තය අතර තරගය මාර්තු දෙවැනිදා ද පැවැත්වීමට නියමිත බව සදහන්.
තරගාවලියේ සත්කාරක රට මෙන්ම වත්මන් ශූරයින් වන පාකිස්තානය සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ පෙබරවාරි 19 වැනිදා කරච්චිහීදීයි. පාකිස්තානය ක්‍රීඩා කරන මූලික වටයේ අවසන් තරගය පෙබරවාරි 27 වැනිදා රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතයි.
වත්මන් එක්දින ලෝක ශූරයින් B කාණ්ඩය යටතේ තරගාවලියට ක්‍රීඩා කරන අතර, එම කාණ්ඩයට ඇෆ්ඝනිස්තානය, එංගලන්තය හා දකුණු අප්‍රිකාව ද ඇතුළත්.
අවසන් පූර්ව වටයේ තරග මාර්තු 4 වැනිදා හා 5 වැනිදා පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය මාර්තු 9 වැනිදාට යොදා තිබෙනවා.
ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවහොත් ඔවුන් පළමු අවසන් පූර්ව තරගයට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ක්‍රීඩා කරන අතර, එම තරගයට අතිරේක දිනයක් වෙන් කර නොමැති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. * (දෙසැම්බර් 24 වැනිදා නිකුත් කළ නිල තරග කාලසටහනට අනුව අතිරේක දිනයක් වෙන් කර ඇත)
කෙසේ වෙතත්, දෙවැනි අවසන් පූර්ව තරගයට හා අවසන් තරගයට අතිරේක දින වෙන් කර තිබෙනවා. 2024 T20 ලෝක කුසලාන තරගාවලිය සදහා ද මේ ආකාරයෙන්ම ඉන්දියාව ක්‍රීඩා කළ අවසන් පූර්ව තරගය සදහා අතිරේක දිනයක් වෙන් කර තිබුණේ නැහැ.
අවසන් තරගය ලාහෝර්හීදී පැවැත්වීමට නියමිත නමුත්, ඉන්දියාව සුදුසුකම් ලැබුවහොත් එම තරගය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා දෙමුහුන් ක්‍රමවේදය යොදා ගැනීමට තීරණය කිරීමත් සමග ඊට ප්‍රතිචාර ලෙස 2027 වසර දක්වා ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අයි.සී.සී තරගාවලියන්හීදී පාකිස්තානය ක්‍රීඩා කරන තරග ද වෙනත් රටකදී පැවැත්වීමට නියමිතයි.
*නිල තරග කාලසටහන නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම පුවත යාවත්කාලීන කර ඇත.