ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වීමට නියමිත තරග 5 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන (BGT) ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ ඉන්දීය පිතිකරණ ලැයිස්තුව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් ඇති කරමින් මුල් පෙල පිතිකරුවෙකු වන ෂුබ්මන් ගිල් ද ආබාධයකට ලක්ව තිබෙනවා.
පර්ත්හි වකා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ඉන්දීය සංචිත අභ්‍යන්තර පුහුණු තරගයේ දෙවැනි දිනයේ දී ස්ලිප්හි පන්දු රකිමින් සිටියදී වම් මාපටැඟිල්ලෙහි මෙම ආබාධය සිදුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ඔහුට එළඹෙන 22 වැනිදා පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කළ හැකිදැයි මෙතෙක් නිශ්චිත වශයෙන් තොරතුරු වාර්තා වන්නේ නැහැ.
ගිල් මේ වන විට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කරන නමුත්, පළමු ටෙස්ට් තරගයේ දී ඔහුට ඇතැම් විට යශස්වි ජයිස්වාල් සමග ඉන්දීය ඉනිම ආරම්භ කිරීමේ වගකීම ද පැවරීමට ඉඩ පැවතුණේ නායක රෝහිත් ෂර්මාට ද එම තරගය අහිමි වීමේ අවධානමක් පවතින බැවින්.
රෝහිත්ගේ බිරිද මේ වන විට සිය දෙවන දරු ප්‍රසූතිය සිදු කර ඇති අතර, එම දරු ප්‍රසූතියට ඔහුගේ බිරිද සූදානමින් සිටි බැවිනුයි රෝහිත් ෂර්මා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත මට්ටමක පැවතුණේ.
කෙසේ වෙතත්, ඔහු පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යනු ඇත්දැයි මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නැහැ.
රෝහිත් වෙනුවට ඉනිම ආරම්භ කිරීමට සුදුසුකම් ඇති තවත් විකල්ප ක්‍රීඩකයෙකු වන්නේ කේ එල් රාහුල්. ඔහු ද පුහුණු තරගයේ පළමු දිනයේ දී පිතිකරණයේ නිරතව සිටියදී කෙටි පන්දුවක් වැදීමෙන් වැලමිටක ආබාධයකට මුහුණ දුන්නා.
අනතුරුව ඔහු පිටියෙන් ඉවත් වූ අතර, යළි පිතිකරණයේ නිරත වීමට හෝ පන්දු රැකීමට රාහුල් පිටියට පිවිසියේ නැහැ.
ආරම්භක පිතිකරුවෙකු ලෙස යොදා ගැනීම සදහා අභිමන්යු ඒස්වරන් ද ඉන්දීය ටෙස්ට් සංචිතයේ රැදී සිටිනවා. දෙව්දත් පඩික්කල් ද ඉන්දීය A සංචිතය සමග ඔස්ට්‍රේලියානු සංචාරයේ නිරතව සිටින අතර, ඔහුද ඉදිරියේදී ඉන්දීය ටෙස්ට් සංචිතය සමග එරට රැදී සිටීමට ඉඩ ඇති බව සදහන්.