පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩා කිරීමට දැකීම සතුටුදායක තත්ත්වයක් බව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.
නවසීලන්තය සමග අද(9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමා වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා. පළමු දිනය නිමා වන විට තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 305 ක්.
Day 1 Report : මෙන්ඩිස්-දිමුත් ප්‍රමුඛ පිතිකරුවන් පළමු දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට හිමි කර දෙයි
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50 ක්, ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 47 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 39 ක් රැස් කළා. පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 3 ක් බිද හෙලූ අතර, ඔහු නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් අතර ඩැනියල් විටෝරි අභිබවා දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද අද දිනයේ දී සමත් වීම කැපී පෙනුණා.
පැවැති කාළගුණ තත්ත්වයත් සමග සිදු වූ පන්දුවේ දෝලනය හේතුවෙන් අද දිනයේ දී පිතිකරණයේ නිරත වීම බොහෝ අසීරු වූ බව මැතිව්ස් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා.
කෙසේ වෙතත්, පිතිකරුවන් වගකීම් සහගතව ක්‍රීඩා කළ බවත්, හොදින් යොමු වූ පන්දු ඉවත යවමින් දුර්වල පන්දුවලට පහරදුන් බවත්, මෙවැනි තණතීරුවක ක්‍රීඩා කළ යුතු ආකාරය එය බවත් ඇන්ජෙලෝ මැතිව්ස් සදහන් කළා.
කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවේ පැවැති SA 20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමත් සමග ඔහු මෙම ටෙස්ට් ඉනිමේ දී ද 20යි 20 තරගයක ලෙස පන්දුවට පහරදුන් බවයි මැතිව්ස් සිනහමුසු මුහුණුන් කියා සිටියේ.
මෙන්ඩිස් යනු ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ සිටින දක්ෂ පිතිකරුවෙකු බවත්, ඔහු එය වසර ගණනාවක සිට සනාථ කර ඇති බවත්, ඇන්ජෙලෝ මැතිව්ස් අවධාරණය කර සිටියා.
මෙන්ඩිස් පළමු ඉනිමේ දී පන්දු 83 කින් ලකුණු 87 රැස් කළ අතර, මෙවැනි තණතීරුවක හා කාළගුණ තත්ත්වයක් යටතේ වගකීම් සහගතව, ප්‍රහාරාත්මක වේගය 100 ට වඩා තබා ගනිමින් ඔහු ක්‍රීඩා කළ ඉනිම නැරඹීමට බෙහෙවින් ප්‍රිය බවයි මැතිව්ස් සදහන් කළේ.
දක්ෂ නවසීලන්ත පිතිකරණ ලැයිස්තුවක් සමග ක්‍රීඩා කරන බැවින් පළමු ඉනිමේ දී හැකි තරම් ලකුණු ලබා ගැනීම වැදගත් බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.
එමෙන්ම ලෝක ටෙස්ට් ශූරතාවලිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් මැතිව්ස් පැවසුවේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කිරීමට ඇති ටෙස්ට් තරග ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතීම කණගාටුවට කරුණක් බවයි.
“අපිට සිද්ධවෙනවා නවසීලන්තයේ දී ජයග්‍රහනය කරන්න. අපිට ඉතා හොදින් ක්‍රීඩා කරන්න වෙනවා.” යනුවෙන් මැතිව්ස් කියා සිටියා.
“ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මාස 8 ක කාලයේ දී වගේ ක්‍රීඩකයින් හොදින් ක්‍රීඩා කළා. අවාසනාවකට අපිට වැඩිය ටෙස්ට් තරග මේ වසරේ දී ක්‍රීඩා කරන්න නැහැ. තරග 5යි ක්‍රීඩා කරන්න තියෙන්නේ. ඒක ගොඩක් කණගාටුදායකයි.”
“අවසන් ටෙස්ට් තරගය අපි ක්‍රීඩා කරෙත් මාස 6 කට පෙර. හැමෝම කතා කරනවා ටෙස්ට් ක්‍රිකට් අභාවයට යනවා කියලා. නමුත් වසරකට ටෙස්ට් තරග 5 ක් ක්‍රීඩා කරනවා කියන්නේ අපි ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ කියන එක. ඒක ගොඩක් කණගාටුදායක දෙයක්. අපිට මේ අවුරුද්දේ දී තවත් තරග ලැබේවි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. තරග 5ක් කියන්නේ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.”
Also Read : ඇන්ජෙලෝ මැතිව්ස් තවත් කඩඉම් දෙකක් පසු කරයි
මේ අතර, ඇන්ජෙලෝ මැතිව්ස් අද තරගයේ දී සිය ටෙස්ට් දිවියේ ලකුණු 7,000 සම්පූර්ණ කිරීමට ද සමත් වූ අතර, එම කඩඉමට ළගා වූ තෙවැනි ශ්‍රී ලංකා පිතිකරුවා වන්නේ ඔහුයි.