“4ට යන එක තමයි ප්‍රධානම ඉලක්කය” – දිමුත් ඉදිරි සැලසුම් පහදයි

ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 4 තුළට ගෙන ඒම සිය අරමුණ බව ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

එක්දින සහ ටෙස්ට් යන අංශ දෙකෙන්ම පළමු ස්ථාන 4 තුළ රැදී සිටීම වැදගත් බවයි දිමුත් පෙන්වා දෙන්නේ.

“ශ්‍රේණිගත කිරීම්, ශ්‍රේණිගත කිරීම් සහ ශ්‍රේණිගත කිරීම් තමයි වැදගත්ම වචනය. මම කියන්නේ ශ්‍රී ලංකාව එක්දින සහ ටෙස්ට් යන අංශ දෙකෙන්ම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථාන 4 තුළ රැදී සිටිය යුතුයි කියලා. එයින් වක්‍රව හැදින්වෙන්නේ අපි අවසන් පූර්ව වටයේ කියන එක. ඒ කියන්නේ සමහරවිට තරග දෙකක් පමණයි පිටුපසින් සිටින්නේ උසස්ම තැනට ළගා වෙන්න. ඔබ ඔබේ දිනයේ හොදින් ක්‍රීඩා කළහොත් ලෝක ශූරයින් වෙන්න පුලුවන්.”

යනුවෙන් ශ්‍රී ලංකා නායකයා කියා සිටියා.

සිය පෞද්ගලික දක්ෂතා සැලකීමේ දී ටෙස්ට් ශතක 25ක් සහ ඉනිමක සාමාන්‍ය 50ට වැඩි අගයක් ලබා ගැනීම තම ප්‍රධානමතම අරමුණ බවයි දිමුත් කරුණාරත්න සදහන් කළේ.

ක්‍රිකට් දිවියේ මේ දක්වා පැවැති තරග අතරින් අමතක නොවන අවස්ථා මොනවා දැයි විමසූ පැනයකට දිමුත් මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

“කාට හෝ අමතක කළ හැකිද සිය මංගල ටෙස්ට් තරගය. ඒ වගේම මංගල ටෙස්ට් ශතකය. එංගලන්තයට එරෙහිව ලෝක කුසලානයේ දී ලැබූ ජයග්‍රහනය. ඒ වගේම දකුණු අප්‍රිකාවේ දී මාගේ නායකත්වය යටතේ ලැබූ ටෙස්ට් තරගාවලි ජයග්‍රහනය වැදගත් මතක සටහනක්.”

Comments (0)
Add Comment