2026 T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් ලබයි

2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකාව සෘජුව සුදුසුකම් ලබා ඇති බව ජගත් ක්‍රිකට් කවුන්ලය (අයි.සී.සී) අද (15) තහවුරු කළා.

ඒ, තරගාවලියේ සම සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව කටයුතු කරන බැවින්. ශ්‍රී ලංකාවට අමතරව තරගාවලියේ සම සත්කාරක රටක් වන ඉන්දියාව ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා තිබෙනවා.

අද පැවැති අයි.සී.සී රැස්වීමකදී 2026 විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් තෝරා ගන්නා ක්‍රමවේදයට අනුමැතිය ලැබුණු බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

2024 අදියර මෙන්ම 2026 තරගාවලිය සදහා ද රටවල් 20 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. තරගාවලියට සෘජුව සුදුසුකම් ලබන රටවල් ගණන 12 ක්.

ඒ අනුව 2024 තරගාවලියේ සුපිරි 8 වටයට සුදුසුකම් ලබන රටවල් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමගින් 2026 ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

මෙම වසරේ ජූනි 30 වැනිදා වන විට පවතින විස්සයි 20 ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියෙන්ම පසුවන සෙසු රටවල් 2 හෝ 3 හෝ 4 ද (සත්කාරක රටවල් දෙක සුපිරි 8 වටයට සුදුසුකම් ලබන්නේද නැද්ද යන්න මත එම රටවල් ගණන තීරණය වනු ඇති) 2026 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

ඉතිරි රටවල් 8 තෝරා ගනු ලබන්නේ කලාපීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලි හරහායි.

Comments (0)
Add Comment