2025-2029 කාන්තා තරග කාලසටහන (FTP) අයි.සී.සීය නිවේදනය කරයි

2025 වසරේ මැයි මාසයේ සිට 2029 වසරේ අප්‍රේල් මාසය දක්වා වන කාන්තා ජාත්‍යන්තර තරග කාලසටහන (Future Tours Programme) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් අද(4) නිවේදනය කළා. ඒ අනුව එම කාලයේ දී සියලු තරග රටාවලින් තරග 400 ක් පමණ පැවැත්වීමට නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

2029 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා කණ්ඩායම් තෝරා ගනු ලබන අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) සදහා රටවල් 10 ක් වෙනුවට රටවල් 11 ක් ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ද අයි.සී.සීය නිවේදනය කළා. අයි.සී.සී කාන්තා ශූරතාවලිය සදහා අලුතින් එක්වන රට වන්නේ සිම්බාබ්වේ දේශයයි.

අයි.සී.සී කාන්තා ශූරතාවලියේ දී සෑම කණ්ඩායමක්ම රටවල් අටකට එරෙහිව තරග වැදීමට නියමිතයි. එහිදී සිය රටේදී එක්දින තරගාවලි 4 ක් හා ප්‍රතිවාදී රටේ සත්කාරකත්වය යටතේ එක්දින තරගාවලි 4ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. එක් තරගාවලියකට ඇතුළත් තරග ගණන 3 ක්. කාන්තා ශූරතාවලියේ දී එක්දින තරගාවලි 44 ක් පැවැත්වීමට නියමිත අතර, එහිදී පැවැත්වෙන එක්දින තරග ගණන 132 ක්.

එහිදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එංගලන්තය, ඔස්ට්‍රේලියාව, පාකිස්තානය හා අයර්ලන්තයට එරෙහිව මෙරට දී ද, නවසීලන්තය, බංග්ලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් හා සිම්බාබ්වේ යන රටවල්වලට එරෙහිව එම රටවල්වලදී ද තරග වැදීමට නියමිතයි.

මේ අතර, මෙම කාලසටහනට අනුව ඉදිරි වසර කිහිපයේ දී සෑම වසරකදීම අයි.සී.සී ගෝලීය තරගාවලියක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (ඉන්දියාවේදී), 2026 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය (බ්‍රිතාන්‍යයේදී), 2027 වසරේ දී පළමු වරට සංවිධාන කරන අයි.සී.සී T20 කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලිය (ශ්‍රී ලංකාවේදී), 2028 කාන්තා T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හා 2029 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉදිරි වසර කිහිපයේදී පැවැත්වීමට නියමිතයි.

අයි.සී.සී T20 කාන්තා ශූරයින්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇතත්, එම තරගාවලිය මෙරට දී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව අදාළ තරගාවලියට සුදුසුකම් ලබා ගතහොත් පමණයි. තරගාවලියට රටවල් 6 ක් ක්‍රීඩා කරන අතර, පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 16 ක්.

මේ අතර, බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම යළි ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසීමට සූදානමින් සිටින අතර, ඔවුන් ඉදිරි වසර කිහිපයේදී ටෙස්ට් තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිත බවයි අයි.සී.සීය සදහන් කළේ.

ඉදිරි වසර කිහිපයේ දී ද්වි පාර්ශ්වික තරගාවලි හැරුණු විට තුන් කොන් තරගාවලිද පැවැත්වීමට නියමිතව තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව 2027 වසරේදී තුන්කොන් තරගාවලියකට සත්කාරකත්වය දැරීමට නියමිතයි.

top
Comments (0)
Add Comment