2025 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරග කාලසටහන මෙන්න

තවත් වසරක අවසානය මේ වන විට සනිටුහන්ව තිබෙනවා. 2024 වසර අවසන්ව ඇතත්, තවත් ක්‍රිකට් තරග රැසක් සහිත කාර්යය බහුල වසරක් අදින්(1) ආරම්භ වනවා. මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ 2025 වසරේ ශ්‍රී ලංකා තරග කාලසටහන පිළිබදවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල නවසීලන්තයේ රැදී සිටින බව ඔබ දන්නවා. එම තරග සංචාරය යටතේ තවත් තරග 4 ක් ඉතිරිව ඇති අතර, හෙට(2) දිනයේ දී තෙවැනි විස්සයි 20 තරගය නෙල්සන්හීදී පැවැත්වීමට නියමිතයි. අනතුරුව ජනවාරි 5, 8 හා 11 යන දිනවලදී දෙරට අතර තරග 3 කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අයි.සී.සීය නිවේදනය කර ඇති 2023-27 ජාත්‍යන්තර තරග කාලසටහනට (FTP) අනුව තවත් ද්විපාර්ශ්වික ජාත්‍යන්තර තරගාවලි 5ක් සදහා ශ්‍රී ලංකා කණ්ඩායම 2025 වසරේදී එක්වීමට නියමිතයි.

ඊට අමතරව බොහෝ විට ඔක්තෝබර් මාසයේදී ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. එමෙන්ම ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලැබුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව එම තරගය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

පෙබරවාරි මාසයේදී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේදී පැවැත්වීමට නියමිතව ඇතත්, එම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තේ නැහැ.

ඒ අනුව මෙම වසරේදී ටෙස්ට් තරග 4ක්, එක්දින තරග 16 ක් හා විස්සයි 20 තරග 13 ක්(ආසියානු කුසලානය හැර) ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිතයි.

මීට අමතරව 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය මාර්තු 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7 දෙනෙකු එම තරගාවලියට එක්වනවා. අගෝස්තු මාසයේදී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය (LPL) ද පැවැත්වෙනු ඇති.

තරග කාලසටහන –

  • 2025 ජනවාරි 11 දක්වා – නවසීලන්ත තරග සංචාරය
  • 2025 ජනවාරි 29 සිට පෙබරවාරි 13 – ඔස්ට්‍රේලියාවට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරගයක්
  • 2025 මාර්තු 14 සිට මැයි 25 – ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය
  • 2025 ජූනි 11 සිට 15 – ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය (සුදුසුකම් ලැබුවහොත්)
  • 2025 ජූලි – බංග්ලාදේශයට එරෙහිව මෙරට දී ටෙස්ට් තරග 2ක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
  • 2025 අගෝස්තු – ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය
  • 2025 සැප්තැම්බර් – සිම්බාබ්වේ පිලට එරෙහිව එරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
  • 2025 ඔක්තෝබර් – T20 ආසියානු කුසලාන තරගාවලිය ඉන්දියාවේදී
  • 2025 නොවැම්බර් – අයර්ලන්තයට එරෙහිව මෙරට දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
  • 2025 නොවැම්බර්/දෙසැම්බර් – පාකිස්තානයට එරෙහිව පාකිස්තානයේ දී එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක්
big
Comments (0)
Add Comment