2024 වසරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පිටියේ දැක් වූ දක්ෂතාවල සාරාංශය මෙන්න

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තරග රටා ත්‍රිත්වයෙන්ම තරග 50 ක් ක්‍රීඩා කළ අතර, ඉන් තරග 28 ක් ජය ගත්තා. පරාජයට පත් වූ තරග ගණන 19 ක්.

2024 වසර අවසන්ව තවත් අලුත් වසරක් අදින් ආරම්භ වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට තවත් වසරක මතක සටහන් එක්කරමින්. මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම 2024 වසරේදී දැක් වූ දක්ෂතා පිළිබදවයි. පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තරග රටා ත්‍රිත්වයෙන්ම තරග 50 ක් ක්‍රීඩා කළ අතර, ඉන් තරග 28 ක් ජය ගත්තා. පරාජයට පත් වූ තරග ගණන 19 ක්.

ටෙස්ට් දක්ෂතා

2024 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 10 ක් ක්‍රීඩා කර ඉන් තරග හයක් ජය ගැනීමට සමත් වුණා. පරාජයට පත් වූ තරග ගණන 4ක්.

ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේදී වසරක් තුළ වාර්තා කළ සම දෙවැනි ඉහළම ටෙස්ට් තරග ජයග්‍රහන ප්‍රමාණය ලෙස මෙම තරග හයේ ජයග්‍රහනය ඉතිහාසයට එක් වුණා. 2001 වසරේදී ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 13 ක් ක්‍රීඩා කර ඉන් තරග 8 ක් ජය ගත් අතර, 2006 වසරේදී ශ්‍රී ලංකාව තරග 11 කින් තරග හයක් ජය ගත්තා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි සංඛ්‍යාව 5ක්. ඉන් තරගාවලි 3ක් ශ්‍රී ලංකාව ජය ගත් අතර, දෙකක් පරාජයට පත් වුණා.

එම තරගාවලි පරාජයන් දෙක එංගලන්ත සංචාරයේදී (1-2) හා දකුණු අප්‍රිකා සංචාරයේදී (0-2) ශ්‍රී ලංකාවට උරුම වුණා. කෙසේ වෙතත්, වසර 10 කට පසුව එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගයක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වීම එම වසරේදී ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂීම ටෙස්ට් ජය ලෙස හැදින්විය හැකියි.

ශ්‍රී ලංකාව විසින් ඇෆ්ඝනිස්තානයට එරෙහිව මෙරටදී පැවැති ටෙස්ට් තරගය පහසුවෙන් ජයගත් අතර, බංග්ලාදේශ සංචාරයට ඇතුළත්ව තිබූ තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. ශ්‍රී ලංකාව 2024 වසරේදී ලබා ගත් අවසන් ටෙස්ට් තරගාවලි ජය වාර්තා කළේ නවසීලන්තයට එරෙහිවයි. එම තරගාවලිය තරග 2-0 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව එලෙස ටෙස්ට් තරගාවලියක් ජය ගත්තේ වසර 15 කට පසුව (2009 වසරෙන් පසුව) වීම කැපී පෙනෙනවා.

එක්දින දක්ෂතා

මෑත කාලයේදී ශ්‍රී ලංකාව එක්දින තරග රටාවෙන් ඉහළම දක්ෂතා දැක් වූ වසරක් ලෙස ගෙවී ගිය වසර හැදින්විය හැකියි. 2024 වසරේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරග සංඛ්‍යාව 18 ක්. ඉන් තරග 12 ක් ජය ගත් ශ්‍රී ලංකාව තරග 3 ක් පරාජයට පත් වුණා. තරග දෙකක් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, ලකුණු සම වීමකින් ද එක් තරගයක් අවසන් වුණා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ එක්දින තරගාවලි හයෙන් තරගාවලි පහක්ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වීම ද විශේෂත්වයක්. ඉන්දියාවට එරෙහිව මෙරටදී ලැබූ එක්දින තරගාවලි ජය ඒ අතරින් සුවිශේෂී ජයග්‍රහනයක් ලෙස හැදින්විය හැකියි. ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව පරදා එලෙස එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 27 කට පසුවයි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බ්බාවේ පරදා තරග 2-0 ක් ලෙස ද, ඇෆ්ඝනිස්තානය පරදා තරග 3-0 ක් ලෙස ද, ඉන්දියාව පරදා තරග 2-0 ක් ලෙස ද, බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා තරග 2-1 ක් ලෙස ද, නවසීලන්තය පරදා තරග 2-0 ක් ලෙස ද එක්දින තරගාවලි ජය ගත්තා.

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ එක්දින තරගාවලි ජය ද ඉතිහාසගත වුණේ වසර 12 කට පසු නවසීලන්තය පරදා ශ්‍රී ලංකාව ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙසයි. එම තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව වසර 9කින් නවසීලන්තයට එරෙහිව එක්දින තරග ජයක් හෝ වාර්තා කර තිබුණේ නැහැ. ඊට පෙර අවසන් වරට නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව එක්දින තරගයක් ජය ගෙන තිබුණේ 2015 වසරේ දෙසැම්බර් 31 වැනිදායි.

ශ්‍රී ලංකාව පසුගිය වසරේදී පරාජයට පත් වූ එකම තරගාවලිය බවට පත් වුණේ බංග්ලාදේශයට එරෙහි තරගාවලියයි. එරටදී පැවැති එක්දින තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම තරග 1-2 ක් ලෙස පරාජයට පත් වුණා.

T20I දක්ෂතා

ගෙවී ගිය වසරේ දී ශ්‍රී ලංකාව දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේ විස්සයි 20 තරග රටාවෙන්. විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී ද සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් වූ ශ්‍රී ලංකාවට සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට පවා නොහැකි වුණා.

සමස්ථයක් ලෙස එම වසරේදී ශ්‍රී ලංකාව විස්සයි 20 තරග 22 ක් ක්‍රීඩා කළ අතර, ඉන් ජය ගත්තේ තරග 10 ක් පමණයි. තරග 12 ක් පරාජයට පත් වූ අතර, ඊට ඉන්දියාව හමුවේ සුපිරි පන්දුවාරයේදී ලැබූ පරාජය ද ඇතුළත් වනවා. ඊට අමතරව T20 ලෝක කුසලාන තරගාවලිය යටතේ නේපාලය සමග පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

2024 වසරේදී ශ්‍රී ලංකාව විස්සයි 20 ද්විපාර්ශ්වික තරගාවලි 7 ක් (මේ දිනවල පැවැත්වෙන නවසීලන්තයට එරෙහි තරගාවලිය ද ඇතුළත්ව) ක්‍රීඩා කළ අතර, ඉන් තරගාවලි 4 ක් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා. නවසීලන්තයට එරෙහිව මෙරටදී පැවැති තරගාවලිය තරග 1-1 ක් ලෙස සම මට්ටමෙන් අවසන් වූ අතර, මේ දිනවල පැවැත්වෙන නවසීලන්තයට එරෙහි තරගාවලිය මේ වන විටත් ශ්‍රී ලංකාව පරාජයට පත්ව අවසන්.

ඉන්දියාව සමග පැවැති විස්සයි 20 තරගාවලිය නිමා වුණේ තරග 0-3 ක පූර්ණ තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට උරුම කරමින්. එම තරගාවලියේදී මෙන්ම බොහෝ විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ දුර්වලතා තරග පරාජයන් කරා ශ්‍රී ලංකාව ඇද දැමීමට හේතු වුණා.

සිම්බාබ්වේ (2-1), ඇෆ්ඝනිස්තානය(2-1) , බංග්ලාදේශය (2-1) හා කොදෙව්වන් (2-1) යන රටවල්වලට එරෙහිව පැවැති තරගාවලි ශ්‍රී ලංකාව එම වසරේදී ජය ගැනීමට සමත් වුණා. ඒ අතරින් කොදෙව්වන්ට එරෙහි තරගාවලි ජයග්‍රහනය සුවිශේෂී වූයේ එය ඉතිහාසයේ පළමු වරට කොදෙව්වන්ට එරෙහිව ශ්‍රී ලංකාව ලැබූ විස්සයි 20 තරගාවලි ජය වීම හේතුවෙනුයි.

2024 T20 ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවට අමිහිරි මතකයක් එකතු කරමින් අවසන් වුණා. එම තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහි තරගය පමණක් ජය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව හා බංග්ලාදේශය හමුවේ පරාජයට පත් වෙමින් පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වුණා.

top
Comments (0)
Add Comment