15 වැනියා නැතුවම ඉන්දියාව ඔස්ට්‍රේලියාව බලා පිටව යයි

එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(6) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.

රෝහිට් ෂර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 18 දෙනෙකු අද දිනයේ දී ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, ලෝක කුසලානය සදහා වන ප්‍රධාන ඉන්දීය සංචිතයේ 15 වැනි ක්‍රීඩකයා නිල වශයෙන් නම් කිරීමක් සිදු කර නොමැති පසුබිමකයි ඉන්දීය ක්‍රීඩකයින් ලෝක කුසලානය සදහා සිය රටින් පිටව ගියේ.

ඒ, වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා ආබාධයකට ලක් වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීමත් සමග ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් සංචිතයට ආදේශ කර නොමැති බැවින්.

ලෝක කුසලානය සදහා අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු නම් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගත්තා.

ඊට ඇතුළත්ව ඇති වේග පන්දු යවන්නන් වන්නේ මොහමඩ් ෂාමි හා දීපක් චහාර්.

මොහමඩ් ෂාමි කොවිඩ් 19 ආසාදනය වී සිටි බැවින් ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සම්බන්ධයෙන් තවදුරටත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව අවධානයෙන් පසු වන බව සදහන්.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය සලකා බලා ඉන්දීය සංචිතයේ 15 වැනි ක්‍රීඩකයා නිවේදනය කිරීමට නියමිතයි.