ඉන්දු – ඔස්ට්‍රේලියා ගැටුම නරඹන්නේ මෙහෙමයි – රෝහිත් ගැනත් සුබ ආරංචියක්

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5 කින් යුත් බෝර්ඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (22) ආරම්භ වනවා.

පළමු තරගය පර්ත්හි ඔප්ටස් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් හෙට පෙරවරු 7:50 ට ආරම්භ වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියාව වසර 10 ක කාලයකින් බෝර්ඩර් – ගවස්කාර් කුසලානය ජය ගෙන නැහැ. අවසන් වරට පැවැති තරගාවලි හතරම ජය ගත්තේ ඉන්දියාවයි. අවසන් වරට ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැති බෝර්ඩර් – ගවස්කාර් කුසලාන තරගාවලි දෙක ද දිනා ගැනීමට ඉන්දියාව සමත් වීම විශේෂත්වයක්.

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමටනම් ඉන්දියාවට හා ඔස්ට්‍රේලියාවට මෙම තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සිදු වනවා.

ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන බැවින් හෙට ආරම්භ වන තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ජස්ප්‍රිට් බුම්රා විසිනුයි.

ඒ අනුව කණ්ඩායම් දෙකේම ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා වන බුම්රා හා ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් විසින් පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායම් දෙක  මෙහෙයවීම ද විශේෂත්වයක්.

සිය බිරිද දෙවන දරු ප්‍රසූතිය සිදු කළ බැවින් රෝහිත් ෂර්මා මෙතෙක් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නොමැති අතර, ඔහු එළඹෙන 24 වැනිදා පර්ත්හීදී ඉන්දීය කණ්ඩායම සමග එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඔහු දෙරට අතර දෙසැම්බර් 6 වැනිදා ඇඩිලේඩ්හීදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරනු ඇති.

Star Sports මාධ්‍ය ජාලය හරහා තරගාවලිය නැරඹීමේ අවස්ථාව මෙරට ප්‍රේක්ෂකයින්ට උදා වන අතර, Supreme TV නාලිකාව හරහා ද තරගාවලිය විකාශය කිරීමට නියමිතයි.

top
Comments (0)
Add Comment