ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20යි 20 හා එක්දින ක්‍රිකට් තරගාවලියේ දී ප්‍රේකෂකයින්ගෙන් ලද සහයෝගය ඔස්ට්‍රේලියානු නායක ආරෝන් ෆින්ච්ගේ හා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල්ගේ ප්‍රශංසාවට ලක්ව තිබෙනවා.
දෙරට අතර පැවැති 20යි 20 තරගාවලියෙන් තරග 2-1ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්ත ද, එක්දින තරගාවලිය තරග 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ශ්‍රී ලංකාව එලෙස මෙරට දී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජය ගත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්.
මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තරග සංචාරය සැලසුම් කළ පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා පැවැතියේ දැඩි අවිනිශ්චිත බවක්.
දිවා රාත්‍රී තරග ද පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් මොහොත දක්වා අවිනිශ්චිතතාවයක් පැවැති නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මහත් පරිශ්‍රමයකින් පසුව තරග සංචාරය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කරනු ලැබුවා.
“අපට මෙහි සංචාරය කිරීමට හැකිවීම ගැන අපි බෙහෙවින් සතුටු වෙනවා. මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දුෂ්කරතා අපි දන්නවා.” යනුවන් ඔස්ට්‍රේලියානු නායකයා සදහන් කළා.
“මෙම සීමිත පන්දුවාර තරග අට තුළ දී රටේ මිනිසුන්ට යම් ප්‍රීතියක් ලබා දීමට අපට හැකි වුණා කියලා හිතෙනවා.”
මෙවැනි අසීරු අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ තරග සංචාරය නියමිත පරිදි සිදු කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන්ට ද ස්තූතිවන්ත වීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින් ඊයේ පැවැති අවසන් එක්දින තරගයේ දී කටයුතු කළා.
දෙරට අතර පැවැති අවසන් එක්දින තරගය කහ පැහැති ඇදුමෙන් සැරසී නරඹමින් ඔවුන් සිය කෘතවේදීත්වය ඔස්ට්‍රේලියානු කණ්ඩායමට පල කරනු ලැබුවා.
“එය විශිෂ්ටයි, ශ්‍රී ලාංකීය ජනතාව අපූරු මිනිසුන්” යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆින්ච් කියා සිටියා.
“ඔවුන් සපයන සහයෝගය කිසිවෙකුට දෙවැනි නැහැ, ඔවුන් විශිෂ්ට ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක්, නිරන්තර ඝෝෂාව පමණක් නෙවෙයි, ඔවුන් ක්‍රීඩාවේ හැඟීම් ඉදිරියට රැගෙන යනවා”
මේ අතර, තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
“ඒක හරිම අසාමාන්‍ය දෙයක්. එය වඩාත් සුවිශේෂී හැඟීම්වලින් එකක් වුණා, ක්‍රීඩාංගනය වටා ගමන් කිරීමට හැකි වීම හා විදෙස් රටක් ඔබට සහාය දැක්වීම.”
“ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාව සංචාරය කරන විට අපි තමයි සාමාන්‍යයෙන් හතුරා. ප්‍රේක්ෂකාගාර තුළ ඔස්ට්‍රේලියානු ප්‍රේක්ෂකයින් වැඩිය දකින්න නැහැ. නමුත් සහයෝගය තියෙනවා. මේ වේලාවෙ මෙහි ඉන්න ප්‍රේක්ෂකයින් ඇත්තෙන්ම අසාමාන්‍ය දෙයක්. හැමෝම කහ පාට ඇදගෙන. එයාලා ඔස්ට්‍රේලියානු ධජත් සමග හැම තැනම ඉන්නවා. එය ගොඩක් විශේෂයි. මෙහෙ ආව හැමෝටම ඒ ගෞරවය ලැබෙනවා. ඇත්තෙන්ම මේක ගොඩක් අමාරු අවස්ථාවක් මෙරට ජනතාවට, ඒ වගේම ඇවිල්ලා අපිට සහයෝගය දක්වනවා. කණ්ඩායම් දෙකටම ඔවුන්ට විනෝදාස්වාදයක් දෙන්න පුලුවන් වුණා කියලා හිතනවා.“