බෙන් ස්ටොක්ස් වාර්තා කළ සුපිරි ශතකය අපතේ යවමින් එංගලන්ත කණ්ඩායම සමග පැවැති දෙවැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 43 ක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් අළුබදුන තරගාවලිය තරග 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(2) සමත් වුණා.
ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනයේ දී තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 371 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 327 ක් පමණයි.
දිනය ආරම්භ කරන විට එංගලන්තය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 114 ක්. දිනයේ පළමු කඩුල්ල හෙවත් ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස බෙන් ඩකට් ලකුණු 83 කට දැවී ගියා. ඔහු හා බෙන් ස්ටොක්ස් අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 132 (198) ක්.
අනතුරුව ජොනී බෙයාර්ස්ටව් ලකුණු 10 ක් ලබා සිටියදී දැවී ගියේ ආන්දෝලනාත්මක ස්ටම්ප් කිරීමකට හසු වීමෙන්.
එම දැවී යාමෙන් පසුව 7 වැනි කඩුල්ල සදහා නායක ස්ටොක්ස් හා ස්ටුවට් බ්‍රෝඩ් ලකුණු 108 (122) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගුවේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු යළි සිය කණ්ඩායමට හිමි කර දෙමින්.
නමුත්, ස්ටොක්ස් ලකුණු 155 කට දැවී යාමත් සමග එම බලාපොරොත්තු බිද වැටුණා. පන්දු 214 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 9 ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.
බ්‍රෝඩ් ලකුණු 11 කටත්, ඔලී රොබින්සන් එක් ලකුණකටත්, ජොෂ් ටොන්ග් ලකුණු 19කටත් දැවී ගියා. ජේම්ස් ඇන්ඩර්සන් නොදැවී ලකුණු 3යි.
ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි ලකුණු 3 කට ඊයේ දැවී ගිය අතර, ඔලී පෝප් ලකුණු 3කටත්, ජෝ රූට් ලකුණු 18කටත්, හැරී බෘෘක් ලකුණු 4කටත් දැවී ගියා.
පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක්, පැට් කමින්ස් හා ජොෂ් හේසල්වුඩ් කඩුලු 3 බැගින් බිද හෙලුවා.
තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 416 ක්.
පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 325 ක් රැස් කළා. අනතුරුව ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 279 ක්.