සයිෆර්ට්ගේ ප්‍රහාරය හා දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් අහිමි කරයි

Match Report

ටිම් සයිෆර්ට්ගේ විශිෂ්ඨ ඉනිම හා ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම හමුවේ නවසීලන්තයේ දී පළමු වරට 20යි 20 තරගාවලියක් ජය ගැනීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අද(8) අහිමි වුණා.

ඒ, දෙරට අතර පැවැති තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ අවසන් තරගයෙන් නවසීලන්තය කඩුලු 4ක ජයක් වාර්තා කිරීමත් සමගයි. ඒ අනුව තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ඉනිම ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් වුවද අවසන් පන්දුවාරවලදී හොදින් පන්දු යවමින් නවසීලන්තයට අභියෝගයක් එල්ල කිරිමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගය ජය ගැනීමට අවසන් පන්දුවාරයේ දී ලකුණු 10 ක් ලබා ගැනීමට නවසීලන්තයට අවශ්‍ය වූ අතර, පළමු පන්දුවට හයේ පහරක් එල්ල කරමින් මාර්ක් චැප්මන් තරගයේ පාලනය සිය කණ්ඩායමට නතු කර ගත්තා.

කෙසේ වෙතත්, ලහිරු කුමාර යොමු කළ එම පන්දුවාරයේ දෙවැනි පන්දුවට ඔහු ලකුණු 16කට දැවී ගිය අතර, වයිඩ් පන්දුවක් වූ තෙවැනි පන්දුවේ දී ජේම්ස් නීෂම් දුවද්දී දැවී ගියා. ඊළග පන්දුවේ දී ඩැරල් මිචෙල් ලකුණු 15 ක් ලබා සිටියදී දැවී ගිියේ තරගයේ ජයග්‍රහනය කණ්ඩායම් දෙකටම දෝලනය කරමින්.

කෙසේ වෙතත්, එම පන්දුවාරයේ පස්වැනි පන්දුවට රචින් රවීන්ද්‍ර ලකුණු 2 ක් ලබා ගනිමින් තරගයේ ජය නවසීලන්තයට හිමි කර දුන්නා.

නවසීලන්ත ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 53 ක්. පළමු කඩුල්ල ලෙස චැඩ් බවුස් ලකුණු 17 කට දැවී ගිය අතර, ඔහු එක් ලකුණක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක් ප්‍රමෝද් මදුෂාන් අතින් ගිලිහී ගියා. මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් සුළු වැරැදි රැසක් සිදු වනු දක්නට ලැබුණා.

ටොම් ලේතම් ලකුණු 31 කට දැවී ගිය අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ටිම් සයිෆර්ට් පන්දු 48 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් හා හතරේ පහර 10ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ හා ප්‍රමෝද් මදුෂාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල සදහා පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ලකුණු 76 ක සාර්ථක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා. එම සම්බන්ධතාවය බිද වැටුණේ පැතුම් නිස්සංක ලකුණු 25 කට දැවී යාමත් සමගයි. මෙන්ඩිස් පන්දු 48 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 73 ක්. හයේ පහර 5ක් හා හතරේ පහර 6ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කුසල් පෙරේරා ලකුණු 33 (21) කට දුවද්දී දැවී යාම ශ්‍රී ලංකා ඉනිම ලකුණු 200 සීමාව ආසන්නයට රැගෙන යාමට නොහැකි වීමට දැඩිව බලපානු ලැබුවා.ධනංජය ද සිල්වා ලකුණු 20(9) කටත්, දසුන් ශානක ලකුණු 15(8) කටත් දැවී ගියා.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකාව ලකුණු 3ක් පමණක් ලබා ගැනීම තරගයේ තීරණයට බෙහෙවින් බලපානු ලැබුවා.

පන්දු යැවීමේ දී බෙන් ලිස්ටර් ලකුණු 37 කඩුලු 2 ක් දවා ගත්තා. ඇඩම් මිල්න් හා ඉෂ් සෝදි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

big 3
Comments (0)
Add Comment