සමිත්, ධනුෂ්ක හා මදුෂංකගේ දක්ෂතා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට දෙවැනි ජය ගෙනෙයි

Match Report

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම පරදා කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කිරීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අද(7) සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

ඉනිමේ දෙවැනි පන්දුවෙන්ම කෙනාර් ලුවිස් ලකුණු නොලබා දැවී ගියා. චරිත් අසලංක ලකුණු 6කට දැවී ගියා.

අනතුරුව අහ්මඩ් ෂෙසාඩ් හා කමිදු මෙන්ඩිස් 3 වැනි කඩුල්ල සදහා ලකුණු 83(57)ක සබදතාවයක් ගොඩ නැගුවා.

ෂෙසාඩ් පන්දු 51කින් ලකුණු 56ක් ලබා ගත්තා. හයේ පහරක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

කමිදු ලකුණු 32(25)යි. ඔහුගේ දැවී යාමෙන් පසුව කැන්ඩි වොරියර්ස් ඉනිම මන්දගාමී ස්වරූපයක් ගනු ලැබුවා.

නායක ඇන්ජෙලෝ පෙරේරා ලකුණු 10කට දැවී ගිය අතර, රොව්මන් පවෙල් රැස් කළේ එක් ලකුණක් පමණයි.

තිලකරත්න සම්පත් පන්දු 9කින් නොදැවී ලකුණු 19ක් ද, ඉෂාන් ජයරත්න නොදැවී ලකුණු 9ක් ද ලබා ගනිමින් වොරියර්ස් ඉනිම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී සමිත් පටෙල් ලකුණු 13කට කඩුලු 3ක් බිද හෙලුවා. ධනංජය ලක්ෂාන් ලකුණු 11කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්ලැඩියේටර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 4ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට ධනුෂ්ක ගුණතිලක සමත් වුණේ පන්දු 33කින් ලකුණු 45ක් රැස් කරමින්. හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

කුසල් මෙන්ඩිස් පන්දු 21කින් ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි. මොහොමඩ් හෆීස් ලකුණු 13කටත්, බෙන් ඩන්ක් ලකුණු 3කටත් දැවී ගියා. සමිත් පටෙල් ලකුණු 4යි.

නායක භානුක රාජපක්ෂ පන්දු 13කින් ලකුණු 22ක් ලබා ගනිමින් ගාලු ඉනිම ශක්තිමත් කළා.

ළහිරු මදුෂංක පන්දු 13කින් නොදැවී ලකුණු 22ක් හා ධනංජය ලක්ෂාන් පන්දු 4කින් නොදැවී ලකුණු 10ක් ලබා ග්ලැඩියේටර්ස් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා. මධුෂංකගේ ඉනිමට හයේ පහර 2ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී සචිදු කොළඹගේ ලකුණු 20කට කඩුලු 3ක් බිද හෙලුවා.

මෙතෙක් ක්‍රීඩා කළ තරග 3න් තරග 2ක් ජය ගෙන ඇති ගාලු කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

කැන්ඩි වොරියර්ස් කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කර ඇති තරග දෙකම පරාජයට පත්ව ඇති බැවින් ඔවුන්ට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයයි.

Comments (0)
Add Comment