‘සමහරු නුවනිදුව පටලගෙන ඉන්නවා…’ නුවනිදු, වියස්කාන්ත්, භානුක, දික්වැල්ලට මොකද වෙන්නේ? තරංග කරුණු පහදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සහභාගී වූ මාධ්‍ය හමුවක් ඊයේ(4) පස්වරුවේ දී කොළඹ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී පැවැත්වුණා.

මෙහිදී තේරීම් කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස පැහැදිලි කිරීම් සිදු කෙරුණා.

එහිදී මාධ්‍යවේදීන් යොමු කළ පැනයන්ට පිළිතුරු ලබා දෙමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පිළිබදව තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙලෙස කරුණු පැහැදිලි කළා.

නුවනිදු ප්‍රනාන්දු

ශ්‍රී ලංකා නවක පිතිකරු නුවනිදු ප්‍රනාන්දු මැදපෙල පිතිකරුවෙකු ලෙස ස්ථාවරත්වයක් ගොඩ නගා සිටින බැවින් ඔහුව මෑතකදී ජාතික සංචිතයේ තේරීම් සදහා සලකා බැලීමට අවස්ථාවක් නොලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ද ආරම්භක පිතිකරුවෙකු ලෙස ඇතැම් විට කටයුතු කර ඇතත්, ඔහු මැද පෙල පිතිකරුවෙකු ලෙස සැලකීමට සිදුව ඇති බවයි තරංග සදහන් කළේ.

නුවනිදු ප්‍රනාන්දු ද මැදපෙල පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් පසුවන බවට දැනුම් දී ඇති බව සභාපතිවරයා අවධාරණය කර සිටියා.

ක්‍රීඩා සමාජ තරගවලදී මෙන්ම නැෂනල් සුපර් ලීග් තරගවලදී ද ඔහු ක්‍රීඩා කරන්නේ මැද පෙල පිතිකරුවෙකු ලෙසින් බවයි උපුල් තරංග පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත්, ඇතැමුන් ඔහුව ආරම්භක පිතිකරුවෙකු ලෙස පටලවාගෙන සිටින බව සභාපතිවරයා සදහන් කර සිටියා.

භානුක රාජපක්ෂ

බංග්ලාදේශ තරග සංචාරය සදහා අසනීප තත්ත්වයක් නිසා කුසල් පෙරේරාට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අවස්ථාවේ දී ඔහුට සමාන ප්‍රවේගකාමී පිතිකරුවෙකු ලෙස භානුක රාජපක්ෂ සංචිතයට ආදේශ කිරීම පිළිබද සලකා බැලීමට අවස්ථාව පැවැති නමුත්, භානුක යම් ආබාධයකින් පසුවීම නිසා ඔහු පිළිබද සලකා බැලීමට නොහැකි වී ඇති බව උපුල් තරංග සදහන් කළා.

මේ දිනවල පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් තරගාවලිය සදහා ද ඔහු එම ආබාධය නිසා ක්‍රීඩා නොකරන බවයි තරංග සදහන් කළේ.

කෙසේ වෙතත්, ඔහු පෞද්ගලික වෛද්‍යවරයෙකු හමු වී එම ආබාධය පිළිබද කරුණු සදහන් කර ඇති බවත්, ඒ අනුව එම වෛද්‍යවරයා විසින් තමාට විවේක ගන්නා ලෙසට උපදෙස් ලබා දී ඇති බවටත්, භානුක රාජපක්ෂ විසින් නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දී ඔහු ක්‍රීඩා කිරීමට නියමිත කණ්ඩායමේ කලමනාකරු වෙත සදහන් කර තිබූ බව සභාපතිවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භෞත චිකිත්සකවරයෙකුගෙන් ඔහු සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් තමන්ට ලැබී නොමැති බවයි උපුල් තරංග සදහන් කළේ.

නිරෝෂන් දික්වැල්ල

අසනීප තත්ත්වයකට මුහුණ දී සිටින කුසල් පෙරේරා වෙනුවට බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය සදහා නිරෝෂන් දික්වැල්ල ආදේශ කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණය ඇතැම් පාර්ශවවල විවේචනයට ලක් වූ අයුරු පසුගිය දිනවලදී දැක ගත හැකි වුණා.

මේ සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් උපුල් තරංගගෙන් ප්‍රශ්න කර සිටියා.

ඊට පිළිතුරු දෙමින් සභාපතිවරයා කියා සිටියේ තේරීම් කමිටුවේත්, නායකයාගේත්, පුහුණුකරුගේත් අදහස්වලට අනුව සියලු දෙනා එක්ව එම තීරණය ගත් බවයි.

“ඒක අපි හිතලා සාමූහිකව ගත්ත තීරණයක්. ඒක ඉදිරියේ දී බලාගන්න පුලුවන් ඒ ගත්ත තීරණය හරියයිද වරදියිද කියලා.” යනුවෙන් උපුල්  තරංග සදහන් කළා.

මේ වන විට දික්වැල්ල වෙනුවට සංචිතයට නම් කිරීමට හැකි තරුණ ආරම්භක පිතිකරුවන් වන්නේ ලසිත් කෘෘස්පුල්ලේ හා ශෙවෝන් ඩැනියල් පමණක් බවත්, ඔවුන් දෙදෙනා මේ වන විට දක්ෂතා අතර නොසිටීම පදනම් කර ගනිමින් දික්වැල්ල සංචිතයට නම් කළ බවත් සභාපතිවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියක් ද මාස කිහිපයකින් පැවැත්වීමට නියමිතව ඇති බැවින් මෙම අවස්ථාවේ දී අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීම වැදගත් බැවින් දික්වැල්ල සංචිතයට නම් කළ බවයි උපුත් තරංග සදහන් කර සිටියේ.

විජයකාන්ත් වියස්කාන්ත් – ජෙෆ්රි වැන්ඩර්සේ – දුනිත් වෙල්ලාලගේ

වනිදු හසරංගට පනවා ඇති ජාත්‍යනතර තරග දෙකක තහනමත් සමග බංග්ලාදේශයට එරෙහි විස්සයි 20 සංචිතය සදහා අවශ්‍ය වුවහොත් කණ්ඩායමට කැදවීමේ අරමුණින් පා දග පන්දු යවන්නෙකු ලෙස ජෙෆ්රි වැන්ඩර්සේ කැදවනු ලැබුවා.

ඒ, දුනිත් වෙල්ලාගේ හා නවක පා දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් වැනි ක්‍රීඩකයින්ට අවස්ථාවක් ලබා නොදෙමින්.

මේ සම්බන්ධයෙන් උපුල් තරංග මාධ්‍යවේදීන් විමසූ පැනවලට පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ විස්සයි 20 තරගවලදී දුනිත් වෙල්ලාලගේට වඩා ජෙෆ්රි වැන්ඩර්සේ ආක්‍රමණශීලී පන්දු යවන්නෙකු වීම මෙම නම් කිරීමට හේතු වූ බවයි.

වනිදුගෙන් පසු කඩුලු දවා ගත හැකි ආක්‍රණශීලී පන්දු යවන්නෙකු ලෙස සිටින්නේ ජෙෆ්රි වැන්ඩර්සේ බවත්, එබැවින් ඔහුව සංචිතයට කැදවූ බවත් තේරීම් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර, විජයකාන්ත් වියස්කාන්ත් හා ජෙෆ්රි වැන්ඩර්සේ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් තේරීම් කමිටු සාමාජිකයින් අතර සිදු වූ බව ද උපුල් තරංග සදහන් කළා.

තේරීම් කමිටු නිළධාරීන් අතර ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විවිධ මත තිබූ නමුත්, අවසානයේ දී විස්සයි 20 ලෝක කුසලානයක් ද තවත් මාස කිහිපයකින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බැවින් අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු වන වැන්ඩර්සේ සංචිතය සදහා කැදවූ බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මෙම මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා.

Comments (0)
Add Comment