සනත්ගේ වාර්තාවකුත් බිද දමමින් තෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකාව පිහිටු වූ වාර්තා මෙන්න

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලියේ තෙවැනි තරගය ඉරිදා(19) රාත්‍රියේ නිමා වුණේ ශ්‍රී ලංකාවට කඩුලු 6ක වාර්තාගත ජයක් හිමි කර දෙමින්.

වාර්තා රැසක් අලුත් වූ මෙම තරග ජයග්‍රහනයත් සමග ශ්‍රී ලංකාව මෙම එක්දින තරගාවලියේ පෙරමුණ ගැනීමට ද සමත් වුණා. ඒ, තරග 2-1ක් වශයෙන්.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති ජාත්‍යන්තර එක්දින තරගයකදී කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි මෙම තරග ජය වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 287ක ඉලක්කයක් සාර්ථකව හඹා යමින් අදාළ වාර්තාවට හිමිකම් කියා තිබුණා. ඒ, 2012 වසරේ දී යි.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාවට එරෙහිව හඹා ගොස් එක්දින තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා. මීට පෙර ශ්‍රී ලංකාව විසින් හඹා ගොස් ඔස්ට්‍රේලියාවට එරෙහිව තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වූයේ 281ක්.

තවද ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී පිට පිට එක්දින තරග 2ක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ජය ගනු ලැබුවේ වසර 20කට පසුව වීම ද විශේෂත්වයක්.

පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 170 ක සබදතාවයක් ගොඩ නැගීමට මෙම තරගයේ දී සමත් වුණා.

එම සබදතාවය ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී දෙවැනි කඩුල්ල සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩ නැගූ ඉහළම ලකුණු සබදතාවයයි.

මීට පෙර සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර විසින් 2006 වසරේ දී සිඩ්නි හී දී ලකුණු 163ක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

මේ අතර, ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින ඉනිමකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි පැතුම් නිස්සංක මෙම තරගයේ දී ලබා ගත් ලකුණු 137 වාර්තා අතරට එක් වුණේ.

මීට පෙර සනත් ජයසූරිය විසින් එම වාර්තාවට හිමිකම් කීවේ සිඩ්නි හී දී 2003 වසරේ දී ලකුණු 122ක් වාර්තා කරමින්.

Comments (0)
Add Comment