සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තහනම් කෙරේ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ජාත්‍යන්තර තරග සදහා නව ලිංගභේද සුදුසුකම් රෙගුලාසියක් අනුමත කර තිබෙනවා.

අගහරුවාදා (21) අහ්මදාබාද් හී දී නිමා වූ අයි.සී.සී රැස්වීමේ දී මෙම අනුමත කිරීම සිදු කළ බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මෙම නව නීතියට අනුව පුරුෂයෙකුව සිට කාන්තාවක් බවට පත් වූ සංක්‍රාන්ති ලිංගිකයින්ට කාන්තා ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අවසන් හිමි වන්නේ නැහැ.

ඒ අනුව සිදු කරන ඕනෑම ශල්‍යකර්මයකින් හෝ ප්‍රතිකාරයකින් ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වීමකට ලක් වූවන්ට ද මින් ඉදිරියට කාන්තා ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වන බව අයි.සී.සී ය සදහන් කළා.

මෙම වසර මුලදී Danielle McGahey නම් 29 හැවිරිදි ක්‍රීඩිකාව කැනඩා ජාතික කන්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ අතර, ඇය ඉතිහාසගත වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ලෙසයි.

ඔස්ට්‍රේලියාවේ සිට 2020 වසරේ දී කැනඩාවට පැමිණ 2021 වසරේ දී කාන්තාවක් බවට පත් වීම සදහා ප්‍රතිකාර ලබා ගෙන තිබූ ඇය මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 6 ක් ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, නව නීතියට අනුව Danielle McGahey ඉදිරියේ දී යළි ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන්ව තිබුණේ.

“රෙගුලාසි වසර දෙකක් ඇතුළත සමාලෝචනය කෙරේ” යනුවෙන් අයි.සී.සීය කියා සිටියා.

Comments (0)
Add Comment