ශූරයින්ගේ කුසලානයේදී ඉන්දියාව එක් නගරයකට සීමා කෙරේ

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය සකස් කළ තරග කාලසටහනට අනුව ඉන්දීය කණ්ඩායම තරගාවලිය පුරා එක් නගරයක පමණක් රැදී සිටීමට නියමිතව ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසයේ දී සති දෙකක කාලයක් පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම ලාහෝර් නුවර රැදී සිටිමින් සියලු තරග ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය කණ්ඩායම ප්‍රවාහනය කිරීමේ දී ඇති විය හැකි ආරක්ෂක ඇතුළු විවිධ ගැටලු මගහරවා ගැනීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායම මෙලෙස එක් නගරයකට පමණක් සීමා කර ඇති බව සදහන්.

තරගාවලිය කරච්චි, ලාහෝර් හා රාවල්පින්ඩි හී දී පැවැත්වීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ වන විට සැලසුම් කර තිබෙනවා. අවසන් මහා තරගය ලාහෝර් හී දී පැවැත්වෙනු ඇති.

ඉන්දීය කණ්ඩායම ලාහෝර් හී දී පමණක් ක්‍රීඩා කිරීම තුළ ඉන්දීය ප්‍රේක්ෂකයින්ට ද දේශසීමා හරහා තරග නැරඹීමට පැමිණීම බොහෝ දුරට පහසු වනවා.

මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් සකස් කර ඇති තරග කාලසටහන ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත යොමු කර ඇති අතර, අයි.සී.සීය සමග හා තරගාවලියට ක්‍රීඩා කරන සෙසු රටවල් සමග ඒ පිළිබද සාකච්ඡා කිරීම ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

එහිදී දැඩි අවධානයක් යොමු වන්නේ ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය වෙනුවෙන් පාකිස්තානයේ සංචාරය කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙනුයි.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමේ බලය ඉන්දීය රජය සතුවනවා. ඉන්දීය කණ්ඩායම අවසන් වරට පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ 2008 ආසියානු කුසලාන තරගාවලිය සදහායි.

පසුව 2008 වසරේ දී එල්ල වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයත්, පාකිස්තානයේ ආරක්ෂක ගැටලුත් හේතුවෙන් ඉන්දීය කණ්ඩායම පාකිස්තානයේ සංචාරවල නිරත වූයේ නැහැ.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් හීදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා 2015 වසර දක්වා කිසිදු කණ්ඩායමක් පාකිස්තානයේ තරග සංචාරවල නිරත නොවූ නමුත්, ඉන්දියාව හැර 2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන සෙසු සියලු රටවල් 2015 වසරෙන් පසුව පාකිස්තානයේ තරග සංචාරවල නිරත වී තිබෙනවා.

පාකිස්තානය අවසන් වරට අයි.සී.සී තරගාවලියක් එරට දී පවත්වා ඇත්තේ 1996 වසරේ දී යි. එම වසරේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔවුන් ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමග සම සත්කාරකත්වය දරමින් පවත්වනු ලැබුවා.

2008 වසරේ දී පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය ද පාකිස්තානයේ ආරක්ෂක ගැටලු හේතුවෙන් කල් දැමුණු අතර, පසුව එය 2009 වසරේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැත්වුණා.

2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා 2011 වසරේ ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය ද පාකිස්තානයට අහිමි වුණා.

Comments (0)
Add Comment