ශානක හා චාමිකගේ සටන අපතේ යවමින් ඉන්දියාවට පළමු 20යි 20න් ලකුණු 2 ජයක්

Match Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 2 ක තියුණු ජයක් වාර්තා කරමින් තරග 3කින් යුත් 20යි 20 තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(3) සමත් වුණා.

මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 163 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 28 කට දැවී ගියා. ඔහු සමග ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක රැස් කළේ එක් ලකුණක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 8යි. චරිත් අසලංක ලකුණු 12 කටත්, භානුක රාජපක්ෂ ලකුණු 10 කටත් දැවී ගියා.

වනිදු හසරංග ලකුණු 21(10) යි. දසුන් ශානක පන්දු 27 කින් ලකුණු 45 ක් ලබා ගනිමින් ප්‍රබල සටනක නිරත වූ නමුත්, ඔහුගේ දැවී යාමත් සමග තරගයේ පාලනය ඉන්දියාව දෙසට නතු වුණා.

කෙසේ වෙතත්, චාමික කරුණාරත්න පන්දු 16 කින් නොදැවී ලකුණු 23 ක් රැස් කරමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, අවසන් පන්දුවේ දී තරගයේ ජයග්‍රහනය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියා.

පන්දු යැවීමේ දී සිය මංගල 20යි 20 තරගයට ක්‍රීඩා කළ ශිවම් මාවි ලකුණු 22 කට කඩුලු 4 ක් දවා ගැනීම කැපී පෙනුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5 ක් දැවී ලකුණු 162 ක් රැස් කළේ 6 වැනි කඩුල්ලට දීපක් හූදා හා අක්සාර් පටෙල් පන්දු 35 කින් ගොඩ නැගූ නොබිදුණු ලකුණු 68 ක සම්බන්ධතාවයෙන් ශක්තිමත් වෙමින්.

හූදා නොදැවී ලකුණු 41(23) ක් ද, පටෙල් නොදැවී ලකුණු 31(20) ක් ද රැස් කළා. ඉෂාන් කිෂන් ලකුණු 37 ක් හා නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 29 ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක, මහීෂ් තීක්ෂණ, චාමික කරුණාරත්න, ධනංජය ද සිල්වා හා වනිදු හසරංග එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දග පන්දු යවන්නන් තිදෙනා වූ තීක්ෂණ, හසරංග හා ධනංජය පන්දුවාර 9 ක් යොමු කරමින් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 57 ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින්.

big 3