ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා T 20 තරග කාලසටහන සංශෝදනය කෙරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ තරග කාලසටහනෙහි සංශෝදනයක් සිදු කළ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ඉතිහාසයේ ක්‍රීඩා කරන දීර්ඝතම ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලිය වන්නේ මෙම තරගාවලියයි.

මීට පෙර ශ්‍රී ලංකාව තරග 5කින් යුත් කිසිදු 20යි 20 තරගාවලියක් සදහා ක්‍රීඩා කර නැහැ.

තරගාවලිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය කියා සිටියේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගනවල සංශෝදනයක් සිදු කිරීමට කටයුතු කර ඇති බවයි.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන දිනවල වෙනසක් සිදුව නැහැ.

ඒ අනුව නියමිත පරිදි 20යි 20 තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

පළමු 20යි 20 තරග දෙක සිඩ්නි ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවයි එරට ක්‍රිකට් ආයතනය අද(20) නිවේදනය කළේ.

මීට පෙර නිකුත් කළ කාලසටහනට අනුව ද පළමු තරගය සිඩ්නිහී දී පැවැත්වීමට නියමිතව තිබුණත්, දෙවැනි තරගය බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණා.

තෙවැනි තරගය ගෝල්ඩ් කොස්ට්හි Metricon ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණත්, නව කාලසටහන අනුව එය පැවැත්වෙන්නේ කැන්බරාහි මැනුකා ඕවල් ක්‍රීඩාංගනයේ දී යි.

අවසන් 20යි 20 තරග දෙක මෙල්බර්න්හී දී පැවැත්වීමට නියමිතයි.

මීට පෙර සිව්වැනි තරගය ඇඩිලේඩ් හී දී පැවැත්වීමට නියමිතව තිබුණා.

තරග සදහා ක්‍රීඩා කිරීමට වැඩි නගර සංඛ්‍යාවක් කරා ගමන් කිරීමේ දී කොවිඩ් 19 වසංගතය හමුවේ ජෛව ආරක්ෂිත බුබුලට සිදුවිය හැකි අවධානම සැලකිල්ලට ගනිමින් මෙම සංශෝදනය සිදු කළ බවයි ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩකයින්ගේ, තරග නිළධාරීන්ගේ, සහාය කාර්යය මණ්ඩලවල, ප්‍රේක්ෂකයින්ගේ හා තරග විකාශකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට අඛණ්ඩව ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ද එරට ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් කියා සිටියා.

නව තරග කාලසටහන –

  1. Feb 11: Aus v SL, SCG
  2. Feb 13: Aus v SL, SCG
  3. Feb 15: Aus v SL, Manuka Oval
  4. Feb 18: Aus v SL, MCG
  5. Feb 20: Aus v SL, MCG
Comments (0)
Add Comment