ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් අද යළිත් තරග බිමට

අයි.සී.සී වයස අවුරුදු 19න් පහළ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තවත් තරගයක් අද(24) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් වන්නේ සත්කාරක දකුණු අප්‍රිකා යොවුන් කාන්තා කණ්ඩායමයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.15 ට දකුණු අප්‍රිකාවේ Potchefstroom හී North-West University No1 ක්‍රීඩාංගයේ  දී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන අවසන් තරගය මෙය වන අතර, ඔවුන් මේ වන විටත් තරගාවලියෙන් ඉවත් වී අවසන්.

සුපිරි 6 වටයේ පළමු කාණ්ඩයේ පෙරමුණ තවදුරටත් ඉන්දියාවට හිමිව ඇති අතර, ඔස්ට්‍රේලියාව එහි දෙවැනි ස්ථානයේ පසුවනවා. දකුණු අප්‍රිකාව තෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාවට 6 වැනි ස්ථානයේත් පසුවනවා.

සුපිරි 6 වටයේ දෙවැනි කාණ්ඩයේ පෙරමුණ එංගලන්තයටත්, දෙවැනි ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබෙනවා.