ශ්‍රී ලංකාව ලකුණු 222ක් පිටුපසින්

Day 2 Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද(24) නිමා වුණේ බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ශ්‍රී ලංකාව ලකුණු 222ක් පිටුපසින් පසුවෙමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 143ක් ලබා සිටියා.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 57(91) කට දැවී ගියා. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 8ක් ඇතුළත්. කුසල් මෙන්ඩිස් ලකුණු 11(49)යි.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 70ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, කසුන් රාජිත මෙතෙක් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නැහැ.

පන්දු යැවීමේ දී එබඩොට් හොසේන් එක් කඩුල්ලක් දවා ගත්තා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන තරගය අද දිනය සදහා ආරම්භ කරන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලබා සිටියා.

මුෂ්ෆිකර් රහීම් හා ලිටොන් දාස් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 253ක නොබිදුණු සබදතාවයක් ඒ වන විට ගොඩ නැගී තිබූ අතර, එම සබදතාවය බිද දැමීමට අද දිනයේ දී කසුන් රාජිත සමත් වුණේ ලිටොන් දාස්ගේ කඩුල්ල ලකුණු 141කට දවා ගනිමින්. පන්දු 246කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 16ක් ඇතුළත්.

ඔහු දැවී යන අවස්ථාව වන විට රහීම් හා දාස් අතර ගොඩ නැගී තිබූ සබතාවය ලකුණු 272ක්. බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු 5 ලකුණු 24ක් තුළ බිද වැටුණු පසුබිමකයි එම සබදතාවය ගොඩනගමින් ඔවුන් දෙදෙනා බංග්ලාදේශය සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ.

ලිටොන් දාස්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව කසුන් රාජිත විසින් අදාළ පන්දුවාරයේ දී ම මොසඩැක් හොසේන්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණා. ඒ, සිය ටෙස්ට් දිවියේ බිද හෙලූ පළමු කඩුලු පහේ අවස්ථාව ද සනිටුහන් කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව රහීම් හා ටයිජුල් ඉස්ලාම් අතර 8 වැනි කඩුල්ල සදහා ලකුණු 49ක සබදතාවයක් ගොඩ නැගුණා.

ටයිජුල් ලකුණු 15කටත්, කලෙඩ් අහ්මඩ් ලකුණු ලබා ගැනීමට පෙරත් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා. ඉනිමේ අවසන් කඩුල්ල ලෙස එබඩොට් හොසේන් දුවද්දී දැවී යාමකට හසු වුණා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත ලකුණු 64කට කඩුලු 5ක් ද, අසිත ප්‍රනාන්දු ලකුණු 93කට කඩුලු 4ක් ද බිද හෙලුවා.

ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට මෙම ඉනිමේ දී කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

Comments (0)
Add Comment