දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(29) නිමා වුණේ තරගයේ ජයග්‍රහනයේ සියලු බලාපොරොත්තු දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.
දිනය නිමා වන විට තරගය ජය ගැනීම සදහා සිය දෙවැනි ඉනිමේදී ලකුණු 516 ක දැවැන්ත ඉලක්කයක් හඹා යමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 103 ක්. ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 413 ක් ලබා ගත යුතුයි.
යළි අසාර්ථක වූ දිමුත් කරුණාරත්න ලකුණු 4 කට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23 ක්. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 25 ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 10 ක් ලබා සිටියදී දැවී ගියා. ප්‍රභාත් ජයසූරිය එක් ලකුණකට දැවී ගියේ short-leg හි පන්දු රකිමින් සිටි ටෝනි ද සෝර්සි රැක ගත් සුපිරි උඩ පන්දුවක් හේතුවෙනුයි.
අංක 3 පිතිකරු දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29 ක් ලබා කඩුල්ලේ රැදී සිටින අතර, නායක ධනංජය ද සිල්වා මෙතෙක් ලකුණු රැස් කිරීම ආරම්භ කර නැහැ. පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා හා මාර්කෝ ජැන්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.
අද දිනය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 5 ක් දැවී ලකුණු 366 ක් ලබා සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට පියවර ගත්තා.
අද දිනයේ දී ශතක වාර්තා කරමින් දකුණු අප්‍රිකා දෙවැනි ඉනිම ශක්තිමත් කිරීමට නායක ටෙම්බා බවුමා හා ට්‍රිස්ටන් ස්ටබ්ස් සමත් වුණා. බවුමා ලකුණු 113 ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් සමගින්. ස්ටබ්ස් හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින් ලකුණු 122 ක් ලබා ගත්තා. බවුමා හා ස්ටබ්ස් අතරේ 4 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 249 (433) ක්.
ඒඩ්න් මාක්‍රම් ලකුණු 47 යි. පන්දු යැවීමේ දී විශ්ව ප්‍රනාන්දු හා ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිද හෙලුවා.
ඩර්බන්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව සියලු දෙනා දැවී ලකුණු 191 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව රැස් කළේ ලකුණු 42 ක් පමණයි.