ශ්‍රී ලංකාව තවමත් ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමේ සටනේ ; ප්‍රසාද ලකුණු සටහන මෙන්න

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක පවත්වා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සමත්ව තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානය සමග පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලැබූ කඩුලු 4 ක වාර්තාගත ජයත් සමගින්.

ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඊයේ(30) පැවැති තෙවැනි එක්දින තරගය ජය ගැනීම සදහා ලකුණු 314 ක ඉලක්කයක් සාර්ථක ලෙස හඹා ගිය අතර, එය ඉතිහාසගත වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට දී හඹා ගොස් එක්දින තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

එමෙන්ම එය ශ්‍රී ලංකා කණ්ඩායමක් එක්දින ඉතිහාසයේ දී සාර්ථක ලෙස හඹා ගොස් තරගයක් ජය ගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

මෙම ජයත් සමග අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 77 ක් හිමි කර ගනිමින්.

තරග 21 කදී ශ්‍රී ලංකාව ජය ගෙන ඇති තරග සංඛ්‍යාව 7 ක්. සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ තවත් තරග 3 ක් පමණයි. එම තරග 3 නවසීලන්තයේ දී නවසීලන්තයට එරෙහිව මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් 2023 ලෝක කුසලානයේ සත්කාරකත්වය දරන ඉන්දියාව මෙන්ම, සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන සෙසු කණ්ඩායම් 6 වන නවසීලන්තය, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය,පාකිස්තානය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් ද ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා අවසන්.

ඒ අනුව 2023 ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීම සදහා තවත් එක් කණ්ඩායමකට පමණක් අවස්ථාව ඉතිරිව ඇති අතර, ඒ සදහා මේ වන විට 8 වැනි ස්ථානයේ රැදී සිටින බටහිර ඉන්දීය කොදෙව්වන්, ශ්‍රී ලංකාව, අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව අතර උණුසුම් තරගයක් නිර්මාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට ඉතිරිව ඇති තරග තුනෙන් තරග 2ක් ජය ගතහොත් ඔවුන්ට 8 වැනි ස්ථානයේ මේ වන විට රැදී සිටින කොදෙව් කණ්ඩායම අභිබවා යාමේ අවස්ථාව උදා වනවා.

කොදෙව් කණ්ඩායමට සුපර් ලීගය යටතේ තවත් කිසිදු තරගයක් ක්‍රීඩා කිරීමට ඉතිරි වී නැහැ.

ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ICC
big 3
Comments (0)
Add Comment