ශ්‍රී ලංකාව තරග තුනෙක් එකක් පැරදුනොත් මොකද වෙන්නේ ?

නවසීලන්ත කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට(25) පැවැත්වෙනවා. තරගය ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පෙරවරු 6.30 ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.

2023 අයි.සී.සී එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට මෙම එක්දින තරගාවලියේ ජය අනිවාර්යය වනවා.

ශ්‍රී ලංකාව තරග 3-0 ක් ලෙස තරගාවලිය ජය ගතහොත් කිසිදු ගැටලුවකින් තොරව ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහන

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමට සුපර් ලීගයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් 8 සදහා පමණක් අවස්ථාව පවතින අතර, ඒ අනුව මේ වන විටත් නවසීලන්තය, සත්කාරක ඉන්දියාව, එංගලන්තය, පාකිස්තානය, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය හා ඇෆ්ඝනිස්තානය යන රටවල් ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා අවසන්.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ පසුවන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ඔවුන්ට ප්‍රසාද ලකුණු 88 ක් හිමිව ඇති අතර, සුපර් ලීගය යටතේ කොදෙව්වන්ට ක්‍රීඩා කිරීමට තවත් කිසිදු තරගයක් ඉතිරි වී නැහැ.

දකුණු අප්‍රිකාවට මේ වන විට ප්‍රසාද ලකුණු 78 ක් හිමිව ඇති අතර, ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ රැදී සිටිනවා. දකුණු අප්‍රිකාවට ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට ඇති එක්දින තරග දෙක පමණයි.

10 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 77 ක් ද, 11 වැනි ස්ථානය හිමි කර ගෙන සිටින අයර්ලන්තයට ප්‍රසාද ලකුණු 68 ක් ද හිමියි.

ඉතිරි තරගාවලි හා ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත හැකි අයුරු

සුපර් ලීගය යටතේ ශ්‍රී ලංකාවට ඉතිරිව ඇත්තේ නවසීලන්ත තරගාවලිය පමණක් වන අතර, අයර්ලන්තයට ඉතිරිව ඇත්තේ මැයි මාසයේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශයට එරෙහි එක්දින තරග 3ක් පමණයි.

සිම්බාබ්වේ හා නෙදර්ලන්ත කණ්ඩායම්වලට මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

සුපර් ලීගය යටතේ දකුණු අප්‍රිකාවට ඉතිරිව ඇති නෙදර්ලන්තයට එරෙහි තරග දෙකම ඔවුන් ජය ගතහොත් දකුණු අප්‍රිකාවට ප්‍රසාද ලකුණු 98 ක් හිමි කර ගත හැකියි.

අයර්ලන්ත කණ්ඩායම සිය අවසන් තරග තුනම ජය ගතහොත් ඔවුන්ට හිමි වන ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 98 ක්.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේ දී එක්දින තරග තුනම ජයගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 107 ක් ලබා ගත හැකි බැවින් ශ්‍රී ලංකාවට ගැටලුවකින් තොරව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත හැකියි.

ශ්‍රී ලංකාව තරග දෙකක් ජය ගනිමින් එක් තරගයක් වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව අවසන් වුවහොත් ද, ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 8 අතරට පිවිසෙමින් ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගත හැකියි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව එක් තරගයක් හෝ පරාජයට පත්වුවහොත්, අනෙකුත් තරග ප්‍රතිපල (දකුණු අප්‍රිකා – නෙදර්ලන්ත හා අයර්ලන්ත – බංග්ලාදේශ තරගාවලි) තමන්ට වාසි සහගත ලෙසට අවසන් වෙතැයි ශ්‍රී ලංකාවට අපේක්ෂාවෙන් පසුවීමට සිදු වනවා.

ඒ, තරග දෙකක් පමණක් ජයගතහොත් ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු 97 ක් පමණක් ලබා ගත හැකි බැවින්, දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය යන රටවල් දෙකටම ශ්‍රී ලංකාව පසු කර යාමේ අවස්ථාව උදා වන බැවින්.

ඒ අනුව දකුණු අප්‍රිකාව හා අයර්ලන්තය අවම වශයෙන් එක් තරගයක් හෝ පරාජයට පත් විය යුතුයි.

ශ්‍රී ලංකාව නවසීලන්තයේ දී එක් තරගයක් පමණක් ජය ගෙන, තරග දෙකක් පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබා ගත නොහැකි වනවා.

සුපර් ලීගය සදහා රටවල් 13 ක් ඇතුළත් අතර, ලෝක කුසලානය සදහා සෘජුව සුදුසුකම් ලබා නොගන්නා රටවල් 5 සුදුසුකම් ලැබීමේ තරගාවලියක් සදහා ක්‍රීඩා කළ යුතු වනවා. එම සුදුසුකම් ලැබීමේ තරගාවලියට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති තවත් රටවල් 5 ක් ද ක්‍රීඩා කරන අතර, එම තරගාවලියේ පළමු ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් පමණක් ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබනු ඇති.

Comments (0)
Add Comment