ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට ; කාලසටහන මෙන්න

Match Report

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අපරාජිතව සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(24) සමත් වුණා.

ඒ, තරගාවලියේ 12 වැනි තරගයෙන් තායිලන්තය පරදා කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 93 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 11.3 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

චමරි අතපත්තු පන්දු 35 කින් නොදැවී ලකුණු 49 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. විශ්මි ගුණරත්න පන්දු 34 කින් නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා. ඇයගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත්.

පළමුව පන්දුවට පහරදුන් තායිලන්තය වෙනුවෙන් Nannapat Koncharoenkai නොදැවී ලකුණු 47(53) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 13 කට කඩුලු 2 ක් දවා ගත්තා.

ඒ අනුව මූලික වටයේ දී ක්‍රීඩා කළ තරග තුනම ජය ගත් ශ්‍රී ලංකාව B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

එහිදී ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව තරග වැදීමට නියමිතයි. එම තරගය එළඹෙන 26 වැනිදා රාත්‍රී 7:00 ට දඹුල්ලේ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය එදිනම පැවැත්වෙන්නේ A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගත් ඉන්දියාව හා B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගත් බංග්ලාදේශය අතරයි. එම තරගය පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතයි.

top
Comments (0)
Add Comment