ශ්‍රී ලංකාවට එරෙහිව සියවසේ පළමු ජය සොයා එංගලන්තය අද තරග බිමට

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගය අද(26) ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර බැංගලූරුහි M Chinnaswamy ක්‍රීඩාංගනයේ දී පස්වරු දෙකට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

කණ්ඩායම් දෙකම මේ වන විට තරග 4 බැගින් ක්‍රීඩා කර තරග 3 බැගින් පරාජයට පත්ව ඇති අතර, ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ රැදී සිටිනවා. එංගලන්තය රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේයි.

බැංගලූරු ක්‍රීඩාංගනය සමාන්‍යයෙන් ඉහළ ලකුණු වාර්තා වන ක්‍රීඩාංගනයක්. අද දිනයේ දී බැංගලූරු ප්‍රදේශයේ උපරිම උෂ්ණත්වය 31°C ක පමණ අගයක් ගනු ඇති.

දත්ත වාර්තා 

  • එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ දී ශ්‍රී ලංකාව හා එංගලන්තය තරග 11කදී එකිනෙකා මුණ ගැසී තිබෙනවා. එංගලන්තය ඉන් තරග 6 ක් ද, ශ්‍රී ලංකාව තරග 5 ක් ද ජය ගැනීමට සමත් වුණා.
  • කෙසේ වෙතත්, මෙම කණ්ඩායම් දෙක අවසන් වරට එක්දින ලෝක කුසලාන තරගවලදී මුණ ගැසුණු අවස්ථා හතරම ජය ගත්තේ ශ්‍රී ලංකාවයි. (2007, 2011, 2015, 2019) ඒ අනුව මෙම සියවසේ දී එක්දින ලෝක කුසලාන තරගයකින් ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට එංගලන්තයට තවමත් හැකියාව ලැබී නැහැ.
  • 2015 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ලැබූ කඩුලු 9ක ජයෙන් පසුව දෙරට අතර මේ දක්වා එක්දින තරග 11 ක් පවත්වා ඇති අතර, ඉන් තරග 8 ක් ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. එක් තරගයක් ලකුණු සම වීමකින් අවසන් වුණා.
  • බැංගලූරු ක්‍රීඩාංගනයේ දී එංගලන්තය එක්දින තරග 5 ක් ක්‍රීඩා කර ඇතත්, ඔවුන් අවසන් වරට එම ක්‍රීඩාංගනයේ දී එක්දින තරගයක් ජය ගෙන ඇත්තේ 1993 වසරේ දී යි.
  • ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගනයේ දී එක් එක්දින තරගයක් පමණක් ක්‍රීඩා කර තිබෙනවා. ඒ, 1982 වසරේ දී යි.
Comments (0)
Add Comment