ශර්දුල් – රින්කුගේ ප්‍රහාරය හා දග පන්දු යවන්නන්ගේ දක්ෂතා කොල්කටාවට දැවැන්ත ජයක් ගෙනෙයි

Match Report

ශර්දුල් තාකූර්ගේ හා රින්කු සිංගේ සුපිරි ප්‍රහාරය හා දග පන්දු යවන්නන්ගේ දක්ෂතා හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(6) සමත් වුණා.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි කොල්කටා පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 204 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 123 ක් පමණයි.

බැංගලෝර් ඉනිමේ දී ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 23 කටත්, විරාට් කෝලි ලකුණු 21 කටත්, මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 19කටත් දැවී ගියා. මැදපෙල සියලු පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ඩේවිඩ් විලී නොදැවී ලකුණු 20 ක් හා ආකාශ් දීප් ලකුණු 17 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වරුන් චක්‍රවර්තී ලකුණු 15 කට කඩුලු 4 ක් දවා ගත් අතර, සුයාශ් ෂර්මා ලකුණු 30 කට කඩුලු 3 ක් බිද හෙලුවා. සුනිල් නරේන් කඩුලු 2ක් දවා ගත්තේ ලකුණු 16 ක් ලබා දෙමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා ඉනිම වෙනුවෙන් ශර්දුල් තාකූර් පන්දු 29 කින් ලකුණු 68 ක් රැස් කළ අතර, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 57 යි. රින්කු සිං ලකුණු 46 කට දැවී ගියා.

කොල්කටා ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 89 දී බිද වැටුණු පසුබිමක 6 වැනි කඩුල්ල සදහා තාකූර් හා රින්කු ලකුණු 103 (47) ක සම්බන්ධතාවයක් ගොඩ නගමිනුයි සිය කණ්ඩායම දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියේ.

පන්දු යැවීමේ දී ඩේවිඩ් විලී හා කර්න් ෂර්මා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

big 3
Comments (0)
Add Comment