ශම්මි උසාවි යයි – අර්ජුනගේ ක්‍රිකට් අතුරු කමිටුවට තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ අතුරු කමිටුව සහ එම පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ ශම්මි සිල්වා මහතා ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

දින 14 ක කාලයක් සදහා වලංගු වන පරිදි මෙම තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය පසුගිය 05 වන දින සිට අත්හිටුවමින් හා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත (අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුත්) අන්තර් පාලන මණ්ඩලයක් පත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා. ඒ, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ හා 33 වන වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුවත්ව නොසිටි බවට පසුව මාධ්‍ය වාර්තා පලව තිබුණා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානීත්වයෙන් ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබුණේ මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අමාත්‍යවරුවන් සිව් දෙනෙකුගෙන් යුත් කැබිනට් අනු කමිටුවක් පත් කිරීමටයි.

අලි සබ්රි අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනු කමිටුවට ටිරාන් අලස්, මනුෂ නානායක්කාර හා කංචන විජේසේකර යන අමාත්‍යවරුන් ඇතුළත්.

Comments (0)
Add Comment