ශකිබ් – ලිටොන් සබදතාවය හමුවේ බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැළවෙයි

Lunch Report

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි (27).

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 149ක්.

නොදැවී පන්දුවට පහර දෙන ශකිබ් අල් හසාන් ලකුණු 52ක් හා ලිටොන් දාස් ලකුණු 48ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භයේ සිට දිවා ආහාරය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය එක් කඩුල්ලක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 115ක්.

අද දිනට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4ක් දැවී ලකුණු 34ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි මුෂ්ෆිකර් රහීම් ලකුණු 14ක් හා ලිටොන් දාස් එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, දිනයේ පළමු කඩුල්ල ලෙස මුෂ්ෆිකර් රහීම් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි රහීම් දැවී ගියේ. ඒ වන විට මුෂ්ෆිකර් රහීම් පන්දු 39 කින් ලකුණු 23ක් ලබා සිටියා.

අනතුරුව ශකිබ් හා ලිටොන් අතර මේ වන විට 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 96ක්.

බංග්ලාදේශ දෙවැනි ඉනිමේ දී ටමිම් ඉක්බාල් ලකුණු නොලබා දැවී ගිය අතර, නජ්මුල් හොසේන් ලකුණු 2කට දුවද්දී දැවී ගියා. නායක මොමිනුල් හක්ට ද ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ. මහ්මුදුල් හසාන් ලකුණු 15යි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ඩකා නුවර මීර්පූර් හි ෂෙරී බංග්ලා ජාතික ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 365ක්.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 506ක් ලබා ගත්තා.

මේ වන විට ශ්‍රී ලංකාවට වඩා දෙවැනි ඉනිමේ දී බංග්ලාදේශය ඉදිරියෙන් පසුවන ලකුණු ගණන 8ක්.

Comments (0)
Add Comment